වියත් මග ආදී නිල සහ නිල නොවන සංවිධාන බිහිකරගෙන උගත්තු ඉස්සරහට දාලා බලයට ආව අය අද හැසිරෙන්නෙ ඒ උගත්තුන්ව තඹේකට මායිම් නොකර. විෂය ප්‍රවීණයෝ වෙනුවට උපදේශකකම් කරන්නෙ විෂයෙන් පිට පැනලා 'ෂෝට් කට්' හොයපු වයසක නවීනයො. සමහර යෝජනා උගත්තු කොයි කොයි ක්‍රමවේදවලින් කිව්වත් ක්‍රියාත්මක වෙන්නෙම නෑ. ඒ යෝජනා ක්‍රියාත්මක වෙන්න නම් පූජ්‍ය පක්ෂෙන් වෝනිං එකක් (මේ වෝනිං එක බැලු බැල්මටම පේන්නේ යෝජනාවක් හෝ ඉල්ලීමක් විදියට විතරයි) එන්නම ඕන. මාක්ස් ආගම ගැන ඉදිරිපත් කරපු අදහස අදටත් සම්පූර්ණෙන්ම වලංගුයි කියන්න ඊට වඩා නිදර්ශන ඕන නෑ.
මේ සටහන ලියන්නෙ ආගම හෝ මාක්ස් ගැන කතා කරන්න නෙවෙයි, අද වෙද්දී බලයට පත් වෙලා ඉන්න උගත්තු මුහුණදෙන ඛේදවාචකය හඳුනාගන්න.
පහුගිය දවසක ජනාධිපතිවරයා කිව්වා 'කැපකිරීම් කරන්න ලෑස්ති වෙන්න' කියලා. 'ශ්‍රී ලාංකික මිනිසා' කියන කුලකය ඇතුළෙ 'සාමාන්‍ය ජනතාව' කියන උප කුලකයට අයත් වෙන්නෙ ඔය කියන කැපකිරීම අඛණ්ඩව කරන පිරිසක්. කැපකිරීම් කිරීමේ පූර්ණ පුහුණුවක් ඔවුන්ට තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා කිව්ව කැපකිරීම සාමාන්‍ය ජනතාවට අලුත් දෙයක් නෙවෙයි. නමුත් බලය හොබවන පාර්ශ්වය නියෝජනය කරන උගත්තු මේ වෙලාවෙ කරන කැපකිරීම නම් ඔවුන්ට අලුත් දෙයක්. ඒක ඔවුන්ට නුපුහුණු කැපකිරීමක්.
උගත්තු උනත් තමන්ගේ පාර්ශ්වයට බලය ලැබෙන බව සහතික වශයෙන් දැනගෙන ඒ බලය ලබාගන්න ව්‍යාපෘතිවලට අත තියන්නෙ අත ලෙවකන්න විතරක් නෙවෙයි. තමන් ඉන්න මට්ටමට වඩා සැළකිය යුතු තරමක් ඉහළට එන බලාපොරොත්තුවෙන්. එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන් තමන් විසින් අවුරුදු ගාණක් පුරා ගොඩනංවා ගත්ත ප්‍රතිරූපය, ශාස්ත්‍රීය ශික්ෂණය සුන්නත්දූලි කර ගන්නවා. ඉතින් තමන්ගේ බලාපොරොත්තු කිසිම විදියකින් ඉටු නොවෙද්දි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ට කරන්න වෙලා තියෙන්නේ තමන් කරන්න අපේක්ෂා නොකරපු කැපකිරීමක්. තමන්ගේ ශාස්ත්‍රීය ජීවිතය හා න්‍යායික ඉදිරිපත් කිරීම් ප්‍රායෝගිකත්වය හා භාවිතය ඇතුළෙ වෙනත් පුද්ගල හා සංවිධාන සාධක නිසා 'ෆේල්' වෙන හැටි දැක දැක අකමැත්තෙන් උනත් නිහඬතාවය රකින්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඒක ඇත්තටම ඛේදනීය කැපකිරීමක්.
Master D කියන රැප් ගායකයගෙ 'ශ්‍රී ලංකන් පොරක්' ගීතයේ පද කීපයක් උපුටලා ගන්න කැමතියි.
"රට යන අත ගැන දන්නෙම නැතුව සෙනග නිදි
මගෙ රැපත් මගෙන් තෝරා බේරා දීපු ඔලුව හොඳට නිදි
මුලසුනක් හොයාගන්න ගිය ගමන් පුකක් ඔලුවෙ වදි
පිල මොකක් උනත් උතුමන්ලා රටේ මගෙ කකුලෙ නගී"
දැන් උගතුන්ගෙ ඔලුවල පූජ්‍ය පුකවල්, පරිපාලන පුකවල්, මිලිටරි පුකවල් ඕන තරම් වදිනවා. ඒ වැදිලිවලට විරෝධය දක්වන්න ඔවුන්ට ශක්තියක් නෑ. ඉතින් ඒ ඔස්සේ ඔවුන්ගේ හිස මත පැටවෙන්නෙ තවත් නුපුහුණු පීඩනයක්. ඒ පීඩනය නිරාවරණය වෙන්නෙ ඔවුන් විසින් ඔවුන්ට පහළින් ඉන්න අය මත යොදන පීඩනයෙන්. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ඇතුළෙ හැසිරෙන විකාරරූපී ස්වභාවයෙන්.
හිරි-ඔතප් තියෙන උගත්තු නම් මේ වෙලාවෙ ස්වාධීනව ක්‍රියාත්මක නොවුණත් "ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ" කියලා තනියම හරි කල්පනා කරන්න ඕන. ඒත් මේ නිශ්චිත දේශපාලනික මොහොතේදි ඔවුන් කරන ප්‍රකාශ එක්ක ඔවුන්ට කිසිම ලැජ්ජාවක් හෝ බයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා.
බ්යුන්-චුල් හාන්ගෙ 'විඩාපත් සමාජය' කියන කෘතියෙ මෙහෙම සඳහන් වෙනවා.
"අද දිනයේ සෑම අයෙක්ම ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායෙහි ස්වයං-සූරාකෑමට ලක් වන කම්කරුවෙකු වේ. දැන් මිනිසුන් එකවිටම වහලුන් හා වහල් හිමියන් වේ. පන්ති අරගලය පවා තමන් සමඟම කරන ඇතුළාන්ත අරගලයක් බවට පරිවර්තනය වේ."
හාන්ගෙ මේ හැඳින්වීමට හොඳම උදාහරණයක් තමයි අද බලයට පත් වෙලා ඉන්න උගතුන්. ඔවුන්ට වහලාගේ වගේම වහල් හිමියාගේ චරිතයටත් එකම මොහොතේ පණ පොවන්න සිද්ධ වෙලා තියෙනවා. සුළු ධනේෂ්වරයට අලුතෙන් ඇතුල් උන මේ උගත්තුන්ට පන්ති අරගලයක් තමන්ගෙ ඇතුළාන්තයේ තියා බාහිර සාධක එක්කවත් කරන්න බෑ. හේතුව ඔවුන්ට දැන් ඔවුන්ගේ පන්තිය මොකද්ද කියලා පැහැදිලිව අඳුරගන්න බෑ. එහෙම හඳුනා නොගන්න තාක් ස්වයං විවේචනයක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ ස්වයං විවේචනය සිදු නොවන තාක් බලයේ ඉන්න උගතුන්ගෙන් තමන්ගේ බල කඳවුරට කවදාවත් විරෝධයක් එල්ල වෙන්නෙ නෑ. තමන්ගේ ශාස්ත්‍රීය ජීවිතේ නැවත ගොඩනැංවීම කර ගන්නෙත් නෑ.
"අර්බුදයකදී අප සියල්ලන්ම සමාජවාදීන් වේ" කියලා ශිෂෙක් වතාවක් ප්‍රකාශ කළා. මේ ගෙවෙමින් තියෙන්නේ අර්බුදකාරී මොහොතක්. මේ නිශ්චිත දේශපාලනික මොහොතේ බලයේ ඉන්න උගතුන්ට සමාජවාදී වෙන්න කෙසේ වෙතත් ලිබරල්වාදී වෙන්නවත් නිදහසක් නෑ. මානසික සමතුලිතතාවයක් නෑ.
ඉතින් මිත්‍රවරුනි, මේ ගෙවෙන මොහොත දේශපාලනික න්‍යාය පත්‍ර වෙනුවෙන් උගත්කම උපහාසයට සහ අපහාසයට ලක් වෙමින් තිබෙන අපූර්ව මොහොතක් නොවේ ද? ඉදිරි දිනෙක මැති ඇමැතිවරුන්ට එල්ල වන විරෝධයට සමපාත විරෝධයක් උගතුන්ට හා උගත්කමට එල්ල වුවහොත් අධ්‍යාපනයට කවර මට්ටමක වටිනාකමක් ලැබෙනු ඇති ද?
- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -
Master D ගායනා කරන 'ශ්‍රී ලංකන් පොරක්' ගීතය පහළ ලින්ක් එකෙන්.
No comments:
Post a Comment