Tuesday, July 19, 2016

"රාජ්‍ය මීටත් වඩා පීචං මචං"


පසුගිය ජූලි මස 01 වන දා රාජ්‍ය නාට්‍ය උළෙල නාඩා ආයතනයේදී පැවැත්විණි. උත්සවය පැවැත්වෙන ශාලාවේ ද්වාරයෙන් ඇතුල් වන විට ම ජගත් මනුවර්ණ විසින් කළු පටියක් මා අත තබනු ලැබී ය. සියලු නාට්‍ය ශිල්පීහු සිය අත්හි කළු පටි පැළඳ සිටියහ. චන්ද්‍රගුප්ත තේනුවරගේ පිළිගැනීමෙන් ඉක්බිති ජෙහාන් ශ‍්‍රීකාන්ත් මයික‍්‍රෆෝනය වෙත පැමිණ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල තුළ නාට්‍යකරුවන්ට වූ අසාධාරණය පිළිබඳ පෙන්වා දුන්නේ ය. මේ දූපතට අමතක වූ වේදිකා නාට්‍යකරුවන්ගේ වේදනාව පිළිබඳ පසුගිය දිනවල ජනමාධ්‍ය විසින් හරි හරියට උදම් ඇනූ නිසා ජෙහාන්ගේ අදහස් දැක්වීම පුනරුක්ත කිරීම අනවශ්‍ය යැයි සිතමි.

 

 සහභාගිත්ව සහතික ප‍්‍රදානය පළමු ව සිදු වූ අතර පළමු නාට්‍යකරුවා වේදිකාවට නගිද්දී ඔහුගේ තනි මැකීමට තවත් සහෝදර නාට්‍ය ශිල්පියෙක් වේදිකාවට නැංගේ ය. දෙවැන්නා අත පුවරුවකි. එහි "රාජ්‍ය මෙච්චර පීචං ද මචං?" යනුවෙන් සඳහන් විය.

 

 

කලාව කන්නදැයි විමසූ, රට තණම කන පාලකයෝ පාරිශුද්ධ යැයි කියන මේ භූමියේ උන්හ. එවැන්නෝ අදටත් සිටිත්. ආත්මයක් නැති උන් ආත්ම ප‍්‍රකාශනයක් වන කලාව නො හැඳිනීම අරුමයක් නො වේ. කලාකරුවාගේ වටිනාකම ආරක්‍ෂා කිරීමට තරම් බුද්ධිය මෙහෙයවීමේ හැකියාවක් ද ඔවුනට නැත. නාට්‍යකරුවන් විරෝධය පෑවේ සමස්ත කලාවට සිදුවන කුඩම්මාගේ සැළකිල්ලට යි. 'අපූර්ව' යන විශේෂණයට වඩාත් ම උචිත කලාකරුවන්ගේ මේ විරෝධතාවය මා මේ  දූපත තුළ දුටු රසවත් ම සහ සහ සාර්ථක ම විරෝධතාවය යි.

 

මේ කලාකරුවන්ගේ එක් අනතුරු ඇඟවීමක් පමණි. හෘදසාක්‍ෂ්‍යයක් සහිත කලාකරුවන්ට රටක් තුළ කළ හැකි සාමකාමී විප්ලව ගැන නිදසුන් එමට ය. මේ අනතුරු ඇඟවීමෙන් පාඩම් උගෙන පැවැති, පවතින සහ පවතින්නට නියමිත සියලු රජයන් කලාකරුවන් කෙරෙහි සිය අවධානය යොමු නො කරන්නේ නම් රාජ්‍ය තවත් පීචං වනු ඇත.

 

අරගලය ඇති තැන වටා මිනිසුන් එකතු වන බව අපි දනිමු. නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙකු වන සෞම්‍ය ලියනගේ පවා විරෝධතා පුවරුවක් රැගෙන වේදිකා ගත වීම ඊට සාක්‍ෂ්‍ය සපයයි. නාට්‍යකරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කේ. බී. හේරත් ද නාට්‍යකරුවන්ගේ විරෝධය සාධාරණ බව BBC පුවත් සේවයට ප‍්‍රකාශ කර ඇති අයුරු දිටිමි. කේ. බී. ඒ ප‍්‍රකාශය හදවතින් ම සිදු කළේ නම් වචන පසෙක තබා දැන්වත් ක‍්‍රියාත්මක වීම මැනවි.

 

මැති ඇමැති සුබසිද්ධිය තකා රිසි සේ මුදල් විසි කරන රජයට මිනිසාගේ සිත් සුවපත් කර මානසික තෘප්තිය උදාකර දීම සඳහා යෙදවීමට මුදල් නොමැති වීම සැබැවින් ම ප‍්‍රශ්නාර්ථයකි. කලාකරුවන් අරගල කරන්නේ ස්වකීය වටිනාකම ඉල්ලා මිස අධිවටිනාකමක් ඉල්ලා නො වේ. මේ ඉල්ලීම් ඉදිරිපිට වුව ද තව දුරටත් කලාකරුවන් ඇන්දවීමට රජයට අසීමිත පුහුණුවක් සහ හැකියාවක් ඇති බව අපට පිළිගන්නට සිදු වේ. මේ සංක්‍ෂිප්ත සටහන අවසන කලාකරුවන් නැගූ පැනයකට පිළිතුරක් දෙනු රිසියෙමි.

 

"රාජ්‍ය මෙච්චර පීචං ද මචං?"

 

"රාජ්‍ය මීටත් වඩා පීචං මචං."

 

- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -


(මෙම සටහන අච්චාරුවට ගෙන්වීමට පමා වූ අතර නිසි කල්හි "ඇත්ත" පුවත්පතේ පළ විය.)