පුන්සිරි සොයිසා එහෙම කියද්දි මම හිටියෙ බිඳිලා නෙවෙයි, කුඩු වෙලා. සමහරවිට සුන්නද්දූලි වෙලා වෙන්න ඇති. මේසෙ උඩ තිබුණු බිඳෙනසුලු වීදුරුවට අතින් ගහලා බිඳෙනවද කියලා බලන්න හිතුණෙ ඒ නිසා. මම අතින් ගැහුවා. වීදුරුව පෙරළුණා. වට භාගයක් විතර බමරෙ වගේ කැරකෙද්දි වීදුරුව මේසෙන් බිමට වැටෙන එක නවත්තන්න මට වෙලාව තිබුණා. ඒත් මට කම්මැළි හිතුණා. අනික මට උවමනාවක් තිබුණෙ නෑ. වීදුරුව වැටුණා. බිඳුණා. කුඩු උනා. සුන්නද්දූලික උනා. අපරාදෙ ඒකෙ තිබුණ ෂොට් එක කියලා එතකොටම මට හිතුණා.
පහේ කප් එකක්වත් නැති නිසා බෝතලේටම සෝඩා ටික හලාගෙන මම බැල්කනියට ආවා. මෙතෙන්ට පේන්නෙ කොන්ක්‍රීට්, ගස්කොළං සහ අහස විතරයි. කොන්ක්‍රීට් දිහා බලන් ඉන්න මට කම්මැළියි. ගස් දිහා මම බැලුවෙ නෑ, මේ ගෙවෙන්නෙ දෙවැනි සැරේ බලද්දි ගහ තියේවිද කියලා ශුවර් නැති කාලයක් නිසා. මම අහස දිහා බැලුවා. හඳයි තරුයි දෙකම. මට කොගාගෙ කවියක් මතක් උනා.
ඒ එක්කම වෙඩ්ඩත් ආවා නදීකත් එක්ක.
ඕකට වෙඩි තියලා බෑ. මට හිතුණා ඕකට හූවක් තියන්න. ආතල් එකක් ගන්න නෙවෙයි, මොකද්ද වෙන්නෙ කියලා බලන්න. එක්ස්පෙරිමන්ට් එකක් විදියට. ආලෝක වර්ෂ ගාණක් දුර ඉන්න එකෙකුට හූ තිව්වට ඇහෙන්නෙ නෑ කියලා කාට හරි කියන්න පුළුවන්. එහෙම නෑ. මූට හොඳට ඇහෙනවා. අනික හඳට පොලු ගහපු මිනිස්සු ගැන කතන්දර තියෙන රටක හඳට හූ තිව්ව මිනිහෙක් ගැන කතාවක් හැදුණට මොකද? එතකොටම මට හඳට හූ තැබීම ගැන කප් ගහපු සත්තු කීප දෙනෙක් මතක් උනා. බල්ලො, නරි සහ වෘකයො. මම හැබෑ ඇහින් දැකලා තියෙන්නෙ, හැබෑ කනින් අහලා තියෙන්නෙ නම් බල්ලො හඳට හූ තියනවා විතරයි. ඒකට කියන්නෙත් හූ කියනවා කියලා නෙවෙයි, උඩු බුරනවා කියලා. මට මතක් උනා හඳට හූ කියන්න මම බල්ලෙක්වත් නරියෙක්වත් වෘකයෙක්වත් නෙවෙයි කියලා.
බැල්කනියෙන් පහළට බෝතලේ අතෑරලා අර වීදුරුව සුන්නද්දූලි කරා වගේ එක්ස්පෙරිමන්ට් කරන්න යාවි කියලා මට මගේ ගැනම බයක් ආවා. එහෙම උනොත් අපරාදෙ කාලක් විතර රස මධු රස. මම කාමරේට ඇවිත් දොර ලොක් කරලා ජනෙල් පවා වැහුවා.
වෘක මිනිස්සු කියන්නෙ මිත්‍යාවක් නෙවෙයි කියලා මම හිතන්න ට්‍රයි කරා. මම තාම හිතනවා. වෘකයෙකුට උනත් මිනිහෙකුට උනත් එහෙම හිතන්න තහනමක් නෑ. හැබැයි මම ඉක්මණට අවසන් නිගමනේකට ඇවිත් දෙයක් ස්වයංව තහනම් කර ගත්තා.
තමන් බිඳිලා, කුඩු වෙලා, සුන්නද්දූලි වෙලා ගියත් වීදුරු බිඳිල්ල මිනිස්සුන්ට තහනම්.
- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -
2021.05.11