Wednesday, October 21, 2015

සිංහල මනැස දෙමළෙන් කියවීම සහ දෙමළ මනැස සිංහලෙන් කියැවීම


වරක් වාරණයට ලක් වුණ සිනමා නිර්මාණයක්. සිංහල මානසිකත්වයෙන් බැලූවම, ජාතිකානුරාගය ඉස්මුරුත්තාවට අරන් බැලූවම වාරණය කළ යුතු චිත‍්‍රපටයක්. ඒත් ජාතිකානුරාගය කියන කාරණාව ඇතුළෙ ජාතික ප‍්‍රශ්නයට හැඟීම වලින් ලබා දෙන කුපිත කිරීමක් මිසක් බුද්ධිමත්ව ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නෑ. අපේ රටේ ජාතිකානුරාගය කියන හැඟීම පාවිච්චි කරල මිනිසාගේ බුද්ධිය මොට කරපු අවස්ථා අනන්ත අප‍්‍රමාණ අපි දැකල තියෙනවා. අදටත් ඒ දේ ඒ විධියටම වෙනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද අපිට ඒ දේවල් එහෙම පේන්නෙ නැති එක. සමහර විට අපි ඒක එහෙම දකින්න කැමති නැතිව ඇති.

ප‍්‍රසන්නගෙ සිනමාව ටිකක් අතීතෙට අරන් ගිහිල්ල මම යනවා "පුරහඳ කළුවර" වෙතට. දෙමළා ගැන කතා නොකරත් යුද්ධය කියන කාරණාව ඇතුළෙ අපිට ඇත්තටම වෙන්නෙ මොකද්ද කියන කාරණාව "පුරහඳ කළුවර" ඇතුළෙ කතා වෙනවා. ඒ පුරහඳ කළුවරයි. කළුවර පුරහඳත් අරගෙන මම දැන් එනවා අපි දැන් කතා කරන සිනමා නිර්මාණයට. පුරහඳ කළුවරෙන් කළුවර පුරහඳට හෙවත් ප‍්‍රසන්නගෙ "ඔබ නැතුව ඔබ එක්ක" සිනමා නිර්මාණයට.

"ඔබ නැතුව ඔබ එක්ක" චිත‍්‍රපටය ප‍්‍රධාන කාරණා කිහිපයක් ඔස්සේ ලඝු කරගෙන මම මගේ අදහස සටහන් කරන්නම්.

පළවෙනි කාරණාව ධනය. චිත‍්‍රපටයේ පළමු අර්ධය පුරාම මට පේන්නෙ අර්ථික සාධකය කොයි තරම් දුරට මිනිසාට බලපෑම් කරනවද කියන වග. ලොකු ජනතාවක් වාසය නොකරන කඳුකරේ පුංචි නගරෙක උකස් බඩු කඩයක් විතරක් කරගෙන ජීවත් වෙන මනුස්සයෙක් සරත්සිරි. ඒ පුංචි නගරෙත් කඩේට රත්තරන් බඩු උකස් කරන්න මිනිස්සු පෝලිමේ එනවා. ඒකෙන් පේන්නෙ මිනිස්සු ඉන්නෙ කොයි තරම් පීඩනයකින්ද කියන වග. ගාමිණි ආව දවසෙ කඩේ අරින්නත් කලින් මනුස්සයෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. ඒක අධ්‍යක්‍ෂවරයා ගාමිණිවත් සෙල්විවත් මුණගස්වන්න යොදා ගනිපු උපක‍්‍රමයක් වෙන්න පුළුවන්. ඒත් ඒ උපක‍්‍රමේ ඇතුළෙ ආර්ථිකය සම්බන්ධ කියවීමකුත් යන්තම් ස්පර්ෂ කරනවා වගේ මට දැනෙනවා.

සරත්සිරි සෙල්විව දකින්නෙ කඩේට රත්තරන් බඩු උකස් කරන්න එද්දි. සෙල්වි සරත්සිරි ළඟ තමන්ගෙ හැම රත්තරන් බඩුවක්ම උකස් කරනවා. අන්තිමට තමන්ගෙ ජංගම දුරකථනයත් උකස් තියන්න එනවා. ඒත් සරත්සිරි උකස් ගන්නෙ රත්තරන් බඩු විතරයි. සෙල්වි අන්තිමට තමන්ගෙ කොන්තයත් උකස් කරනවා. මේක ආර්ථික කාරණය සම්බන්ධ කියවීම ඇතුළෙ විශේෂ අවස්ථාවක් විධියටයි මට පේන්නෙ. ඒ කියන්නෙ මිනිසාට ජීවත් වෙන්න අර්ථික සාධකේ හරස් වෙන අන්තිම අවස්ථාවෙදි ගොඩ එන්න බැරිම වුණාම මිනිසා තමන්ගෙ ආගමත් උකස් කරනවා. ඒක කොයි තරම් ශ‍්‍රද්ධා සම්පන්න කෙනෙක්ට වුණත් පොදු කාරණාවක්. ප‍්‍රතිඥා දෙන්න පුළුවන්, මං එහෙම කරන්නෙ නෑ කියල  ඕනම කෙනෙක්ට. ඒත් ඒ තත්ත්වෙට වැටුණම මම ඔබ කවුරු වුණත් ඒ දේ කරනවා. මගේ පෞද්ගලික මතය අනුව නම් අද වෙද්දි ආගම උකස් කරන එකත් සාමාන්‍යකරණය වෙලා තියෙනවා. හේතුව ආගම මිනිසාගේ ඉස්මුදුනට වැදීම සහ අද වෙද්දි මිනිසා පාලනය කරන්න ආගමත් අසමත් වීම.

ආර්ථික සාධකය ඇතුළෙ තමයි මිනිසාගෙ බලාපොරොත්තු ගොඩ නැංවෙන්නෙ කියන එකට තවත් උදාහරණයක් දෙන්න පුළුවන් සරත්සිරිට තේ කෑල්ල ගැන තියෙන ආශාවෙන්. ඒ ආශව නිසාම දවසකට වියදම් කරන්න  ඕන රුපියල් තුන් සියයයි කියල සරත්සිරි කියනවා.

ආර්ථික සාධකය සම්බන්ධ කතන්දරේ උච්ඡතම අවස්ථාවට අරන් එන්නෙ සරත්සිරි සෙල්විට බණිද්දි. සරත්සිරි වචන වලින් තමන්ගෙ ආවේග පිට කරනවා. "පට්ට බැල්ලි. උඹ අද ඔහොම කතා කරන්නෙ මං නිසා." ඔව්. රත්තරන් බඩු උකස් කරන්න ඇවිල්ල සරත්සිරිගෙ මූණ දිහා කෙළින් නොබලපු සෙල්වි අද සරත්සිරිට බණිනවා. ඇත්තටම ඒ ශක්තිය දුන්නෙ සරත්සිරිගෙ සල්ලි. සමහර විට සෙල්වි සරත්සිරි එක්ක විවාහ වෙන්න එකඟ වීමත් මේ ආර්ථික සාධකය මුල් කරගත්ත දෙයක් කියල අපිට හිතන්න පුළුවන්. සෙල්විගෙ රත්තරන් බඩු තියෙන්නෙත් මේ පුද්ගලයා ළඟ. අද කාලෙ පිරිමියෙක්ගෙ ඉතිහාසෙ මොකුත්ම නොදැන ඔහුත් එක්ක විවාහ වෙන්න සූදානම් ගැහැණු ඉන්නවා කියල මං හිතන්නෙ නෑ. ඉතිහාසය නොදන්න පිරිමිත් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන්. ඒත් විවාහය සම්බන්ධ කාරණාව ඊට වඩා වෙනස්. එහෙනම් ඇත්තටම සෙල්විගෙ මේ එකඟතාවයට හේතුව සරත්සිරිගෙ සල්ලිම වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

කැමති කෙනෙක්ට පුළුවන් මේ වගේ කාරණා වලින් ගිහිල්ල "ඔබ නැතුව ඔබ එක්ක" චිත‍්‍රපටය මාක්ස්වාදී දෘෂ්ටියකින් විචාරය කරන්න. ඒත් මට හිතෙන්නෙ එහෙම එක දෘෂ්ටිකෝණෙකට විතරක් සීමා වෙන එක සිනමා නිර්මාණයට කරන අසාධාරණයක්.

 

මම මේ චිත‍්‍රපටයේ කියව ගත්ත ඊළඟ කාරණාව වෙන්නෙ ආදරය සහ කුටුම්භය. සෙල්විගෙත් සරත්සිරිගෙත් කුටුම්භය ඇතුළෙ තියෙන්නෙ පුරුෂාධිපත්‍යය කියල ගොඩක් පිරිස් කියනවා. සරත්සිරි බලවත් වෙන්නෙ පුරුෂාධිපත්‍යය නිසාලු. ඒත් ඇත්තටම මට හිතෙන්නෙ සරත්සිරි බලවත් වෙන්නෙ පුරුෂාධිපත්‍යය නිසා නෙවෙයි, ආර්ථික සාධකේ නිසා. මං ආයෙත් අර්ථික සාධකය සම්බන්ධ කතිකාවට යන්නෙ නෑ.

සරත්සිරි සෙල්වි විවාහ කරගන්නෙ සෙල්වි ගැන ආදරයෙන්මද කියල ප‍්‍රශ්නයක් මතු වෙනවා. සරත්සිරිට සෙල්වි දැකපු අවස්ථාවෙ යම් හැඟීමක් ඇති වෙනවා. ඒත් සරත්සිරිට තමන්ගෙ හෘදසාක්‍ෂ්‍යය පිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ අවශ්‍යතාවෙ සපුර ගන්න සෙල්වි සරත්සිරි සමග විවාහ වෙන්න එකඟ වුණා වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙන්න විවාහ වෙද්දි ඇත්තටම මේ දෙන්නට මේ දෙන්න ගැන ආදරයක් තිබුණද කියල ප‍්‍රශ්නයකුත් මතු වෙනවා. කලක් යද්දි මේ දෙන්න තම තමන්ගෙ හිත් ඇතුළෙ අනෙකා ගැන ප‍්‍රතිරූපයක් නිර්මාණය කර ගන්නවා. ඒක ඇත්ත නෙවෙයි. ඒක දවටනයක් විතරමයි. ඒ දවටනේ ලිහන්න සමහර වෙලාවට සෙල්වි උත්සහ කරනවා. ඒත් සරත්සිරි ඒකට ඉඩ දෙන්නෙ නෑ. සරත්සිරිට රකින්න රහසක් තියෙනවා. සෙල්වි නොදන්න ඇත්තක් සරත්සිරි දන්නවා. ඒ තමයි මේ ප‍්‍රතිරූපෙ බින්දොත් මහා පිපිරීමක් වෙනවා කියන වග.

සරත්සිරි උත්සහ කරන්නෙ මේ ප‍්‍රතිරූපෙ ආරක්‍ෂා කරගන්න. අපි ඇත්තටම මේ සමාජෙ ඇතුළෙ අපේ ප‍්‍රතිරූප ආරක්‍ෂා කර ගන්න කොයි තරම් ලොකු උත්සහක් ගන්නව ද? ඒත් ඒක සෙල්විට දැනෙන්නෙ නෑ. තමන්ගෙ විවාහක ස්වාමියා කියන්නෙ ඇත්තටම සරත්සිරිගෙ ප‍්‍රතිරූපෙ පමණක් බව නොදැන සෙල්වි සරත්සිරිට ආදරේ කරනවා.

ඒ අතරෙ එන සරත්සිරිගෙ යාලුවා, ගාමිණි, ඇත්තටම ඒ තමයි දුෂ්ඨ ගාමිණි. චිත‍්‍රපටයෙ හැරවුම් ලක්‍ෂයත් ගාමිණි. ගාමිණි ආවෙ නැත්නම් සෙල්වි මැරෙන්නෙ නෑ. එහෙනම් සෙල්විත් සරත්සිරිත් තාමත් පවුල් කනවා. දුෂ්ඨ ගාමිණි සරත්සිරි හංගන්න උත්සහ ගන්න අතීතෙ සෙල්වි ඉස්සරහ ගොඩදානවා. එතන ඉඳන් සෙල්වි ගොඩනඟා ගත්ත සරත්සිරිගෙ ප‍්‍රතිරූපෙ බිඳෙනවා. නියම සරත්සිරි මතු වෙනවා. නියම සරත්සිරිට සෙල්වි වෛර කරනවා. දෙන්න ගැටෙනවා. සරත්සිරි පාපොච්ඡාරණය කරනවා. කලක් යද්දි දෙන්නම ආයෙත් යථා තත්ත්වෙට පත් කරනවා. සරත්සිරි මෙතුවක් සෙල්වි ආස කරපු කිසිම දේකට ආස කරේ නෑ. ඒත් මෙතන ඉඳන් සරත්සිරි සෙල්වි ආස කරපු හැම දෙයක්ම කරනවා. එතකොට සෙල්වි සරත්සිරිට ආදරේ කරන්න බය වෙනවා. ඇත්තටම මේ වෙන්නෙ මොකද්ද? මිනිස්සු ප‍්‍රතිරූපවලට ආදරේ කරනවා. ඒත් ඒ ප‍්‍රතිරූප බිඳිල ඇත්ත එළි වුණාම, යතාර්ථය එළියට ආවම අපි ඒකට ආදරේ කරන්න බය වෙනවා. ඒක අපි කාටත් පොදුයි. සරලව හිතල බැලූවොත් අපි කවුරුත් ආදරේ කරන්නෙ තමන්ගෙ අනෙකාගේ ප‍්‍රතිරූපෙට. ඒක බිඳිල ගිහිල්ල ඌ ප‍්‍රකෘතියක් වෙලා ඒ ප‍්‍රකෘතිය එළියට පැන්නොත් එදාට අපි ඒක පිළිකුල් කරන මට්ටමට යනවා.

ඇත්තටම අවසානය වෙද්දි අනෙකා තේරුම් ගන්න මේ දෙන්නම බය වෙලා කියලයි මට හිතෙන්නෙ. ඒකට හේතුව මේ දෙන්නම දන්නවා මේ දෙන්න යන්නෙ මර්ග දෙකක කියල. ඒ මර්ග දෙකේ උදාසීනව යන්න මිසක් ගැටෙන්න මේ දෙන්නම උත්සහ කරන්නෙ නෑ. ඇත්තටම ගැටුණොත් තමයි මේ දෙන්නටම නියම විසඳුමකට යන්න පුළුවන් වෙන්නෙ. ඒත් දෙන්නම ගැටෙන්න බයයි. ආදරේ කියන කාරණාවත් එක්ක ඒ ගැටුම් සහගත මනෝභාවයන් හරිම සීරුවට එළියට පෙන්නනව කියන්නෙ සිනමා නිර්මාණයක් ඇතුළෙ තරමක අභියෝගයක්. ප‍්‍රසන්න ඒක ජය ගන්නවා.

අපිට එක අවස්ථාවක් චිත‍්‍රපටයෙ මුණගැහෙනවා සෙල්විගෙ ආදරේ නිසා සරත්සිරි අනෙකාව හඳුනා ගන්න අවස්ථාවක්. මුලින්ම උකස් කරපු තැල්ල වෙනුවට වළලු දෙක තියන්න ආව දෙමළ කාන්තාවට එහෙම කරන්න බෑ කියපු, එහෙම කරපු වරදට සෙල්විට ආයෙත් කඬේට ආවෙ නැතුවට කමක් නෑ කියපු සරත්සිරි ඒ දෙමළ කාන්තාව ආයෙත් තැල්ල උකස් කරන්න ආවම තැල්ල උකසට නොගෙන ඒ වෙනුවට ණයක් දෙනවා. ඇත්තටම දෙමළ ගෑණියෙකුට තැල්ල කොයි තරම් වැදගත්ද?

ආදරයත් එක්ක ලිංගිකත්වයත් දර්ශන කිහිපයක් මගින් පමණක් යන්තම් ස්පර්ෂ කරනවා. අන්තිමට ආදරය එක්ක අපි ජීවත් වෙන කෘතීම පරිසරය සහ ඒකෙන් පෝෂණය වෙන කෘතීම මනෝ භාව පෙන්නන ආකාරය නිසා මේ චිත‍්‍රපටය ඇතුළෙ ආදරේ පිළිබඳ වෙනස්ම කතිකාවත් පහසුවෙන් ඉස්මතු වෙනවා කියලයි මට හිතෙන්නෙ.

මම මේ චිත‍්‍රපටයෙන් මතු කර ගන්න ඊළඟ කාරණාව වෙන්නෙ යුද්ධය සහ ජාතිය. සිංහල බෞද්ධ පිරිමියෙකුගේ සහ දමිළ කතෝලික කාන්තාවකගේ කතාව තමයි "ඔබ නැතුව ඔබ එක්ත" කියන්නෙ. මේකෙ කියවෙන බරපතළම කාරණාව තමයි සිංහල හා දෙමළ මානසිකත්වය.

යුද්ධෙන් පස්සෙ සිංහලය හිතන් ඉන්නෙ දැන් ඔක්කොම ප‍්‍රශ්න ඉවරයි, දැන් දෙමළත් සතුටින් ඉන්නෙ කියල. නෑ, ඒ කතාව වැරදියි. සිංහල අපි තාමත් දෙමළ මිනිස්සු දිහා බලන්නෙ ‘ඒ කොටි’ කියන මානසිකත්වයෙන්මයි. මේ කාරණාව මං කිව්වම මගේ සිංහල මිත‍්‍රයො කිහිප දෙනෙක් මට කිව්වා ‘අනේ අපි නම් එහෙම නෑ’ කියල. කොළඹ ඉඳන් බලන අපිට ඒක තේරෙන්නෙ නෑ. ඒත් අපි අද උතුරට ගිහිල්ල බැලූවොත් මොකද්ද අපිට හිතෙන්නෙ? සිංහල අපි උතුරෙදි තනි වෙලා වගේ දැනෙයි. හැමතැනම අපිට ඇහෙන්නෙ දෙමළ වචන. හැමතැනම පේන්නෙ දෙමළ අකුරු. සරල උදාහරණයක් ගත්තොත්, එහෙම පේන්නෙ නෑ කියල කියන අය සම්බන්ධන් විපක්‍ෂ නායක වෙනවට කැමති වුණා ද? නෑ. මොකද්ද හේතුව? දෙමළෙක් විපක්‍ෂ නායක කරල කොහොමද කියලයි ඔවුන් අහන්නෙ. ඇත්තටම සම්බන්ධන් උතුරු, නැගෙනහිරට විතරක් සීමා වුණ ප‍්‍රදේශීය නියෝජනයක් කියල නෙවෙයි, දෙමළ නියෝජනයක් කියලයි උන් දකින්නෙ. සම්බන්ධන්ට කොළඹිනුත් ආසන ඇවිත් වැරදිලා හරි දකුණෙනුත් ආසනයක් දෙකක් ආව නම් අපි වෙනස් වෙනවද? නෑ, ඒත් අපිට සම්බන්ධන් විපක්‍ෂ නායක වෙනවා කියන එක ප‍්‍රශ්නයක්. මේ නිර්මාණය අතුළෙ මම දුෂ්ඨ ගාමිණි විධියට හඳුන්වපු ගාමිණි හිතන්නෙත් ඒ විධියට. "කවුද දන්නෙ එහෙන් පැන ගත්ත කොටි කෙල්ලක්ද" කියලයි ගාමිණි අහන්නෙත්. මේ තමයි සිංහලයා දෙමළා දිහා බලන වැරදි දෘෂ්ටි කෝණය.

මේ චිත‍්‍රපටය පුරාම රටේ ජාතික ආරක්‍ෂක අංශය හඳුන්වන්නෙ ‘සිංහල හමුදාව’ කියල. ඒ සෙල්වි හමුදාව දිහා බලන දෘෂ්ටිය. යුද්ධයෙන් පීඩා විඳපු බහුතරයක් දෙමළ ජනතාව හමුදාව දිහා බලන්නෙ ‘සිංහල’ කියන විශේෂණයත් එක්ක. ‘සෙල්වම්’ වගේ චිත‍්‍රපටයක පුනරුත්ථාපනය කරපු දෙමළ තරුණයෙක් රඟපෑව කියල මේ දෘෂ්ටිය වෙනස් කරන්න බෑ. ‘සෙල්වම්’ ගැන කතා නොකරන තරමට හොඳයි කියලයි මට හිතෙන්නෙ "ඔබ නැතුව ඔබ එක්ක" ගැන කතා කරන මේ වෙලාවෙ. හේතුව ඒක වෙනමම පුද්ගල ප‍්‍රචාරකවාදී චිත‍්‍රපටයක් වීම.

සිංහල හමුදාව කියල හඳුන්වන පිරිස අතරින් දෙමළ ජනතාවට කිසිම වරදක් වුණේ නෑ, සිංහල හමුදාව පාරිශුද්ධයි කියල කියන්න කාටවත් බෑ. හමුදාවෙ අය අතින් සෙල්වි කියන ආකාරයේ වැරදි සිද්ධ වුණා. ඒක  ඕනම යුද්ධයක  ඕනම හමුදාවක් අතින් වෙන්න පුළුවන් දෙයක්. සමහර විට මේ රටේ බහුතරය දෙමළ වෙලා සුළුතරය සිංහල වෙලා මේ යුද්ධයේ පිල් මාරු වුණා නම් ඒත් මේ දේම ඒ ආකාරයෙන්ම වෙනවා. වැදගත් වෙන්නෙ වැරදිකරුවන් සරත්සිරි කරා වගේ ආරක්‍ෂා කරන එක නෙවෙයි, දේශයේ මුරදේවතාවන් වුණත් වරදක් කරා නම් දඬුවම් කරන්න  ඕන. කොටින්ම අපිට අපි ගැන ස්වයං විවේචනයක් තියෙන්න  ඕන. අපි පාරිශුද්ධ නැති බව අපි පිළිගන්න  ඕන. ඒ පිළිගැනීම නැති නිසා තමයි මේ චිත‍්‍රපටය මුලින්ම වාරණයට ලක්වෙන්නෙත්.

සෙල්වි බය වෙන්නෙ සිංහලයට නෙවෙයි. සරත්සිරි සිංහලයෙක් බව දැන දැනමයි සෙල්වි සරත්සිරි එක්ක විවාහ වෙන්නෙ. සෙල්වි බය වෙන්නෙ සරත්සිරි හිටපු හමුදා සොල්දාදුවෙක් බව දැන ගත්තමයි. සෙල්විගෙ ආවේග පිටවෙන්න පටන් ගන්නෙ එතනින්. සෙල්වි සරත්සිරිගෙන් අහනව දෙමළ කෙල්ලො කීයක් දූෂණය කරාද කියල. සරත්සිරි දෙමළ කෙල්ලො දූෂණය නොකරට ඔහු ඒ වරද කරපු අයව නිර්දෝෂී කරල තියෙනවා. ඒ ප‍්‍රශ්නෙත් එක්ක චිත‍්‍රපටය බලන අවස්ථාවෙම මට මතක් වුණේ මංජුල වෙඩිවර්ධනගෙ ‘මාතෘකාවක් නැති මාතෘභූමිය’ කවි පොතේ එන ‘මම ලිඟුමාල නම් වෙමි’ කියන කවිය. ආරක්‍ෂක අංශ දහදෙනෙක් අම්පාරේ කෝනේෂ්වරී කියන දෙමළ කාන්තාව දූෂණය කරල ඇගේ ලිංගේන්ද්‍රිය ඇතුළට අත්බෝම්බයක් දාල පුපුරවල මරනවා. අපි අභිමානවත් කියල සාහිත්‍යය දාල කිව්වට අතීතය ඇතුළෙ එහෙම දේවල් පවා වෙලා තියෙනවා.

සරත්සිරි සහ සෙල්වි පොතේ අත්සන් කරල කසාද බැඳල ඉස්සෙල්ලම ගෙදරට ඇවිල්ල කරන්නෙ රූපවාහිනිය ක‍්‍රියාත්මක කරන එක. ඒ වෙලාවෙ රූපවාහිනියෙ යන්නෙ නිදහස් සැමරුමක්. හමුදාව උත්කර්ෂයට නංවන රූපරාමු පෙළක්. එතකොට මේ දෙන්න විවාහ වෙලා තියෙන්නෙ පෙබරවාරි 04 දවසක, නැත්නම් මැයි 19 දවසක. කසාද බැඳල ගෙදරට ආව ගමන් මිනිහෙකුට රූපවාහිනියක් ක‍්‍රියාත්මක කරනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද? තියෙනවා,  ඕන තරම්. ඒත් අධ්‍යක්‍ෂවරයා මේ කෘතීම අවස්ථාව මවනවා. ඒ සිද්ධිය අතාත්වික වුණත් ඒ අවස්ථාවෙන් ප‍්‍රකාශ වෙන දේ වචන වලට පෙරළල ප‍්‍රකාශ කරන්න බැරි තරම් සංකීර්ණයි. ‘උඹ දැන් ආවෙ සිංහල ගෙදරකට’ කියන කාරණාව සෙල්විට මතක් කරල දෙනවා වගෙයි.

එතකොට මේ සරත්සිරි කියන හිටපු හමුදා සොල්දාදුවා ඒ හමුදා මානසිකත්වෙන් සම්පූර්ණෙන්ම මිදිලද කියල ප‍්‍රශ්නයක් මතු වෙනවා. දෙමළ කෙල්ලෙක් සහේට ගත්තා, දැන් ඔහුගෙ ආත්මය සුවපත් වෙලා කියල අපි හිතනවා. නෑ, ඒක වැරදියි. සරත්සිරි රූපවාහිනියෙන් නරඹන්නෙම මල්ලව පොර. සරත්සිරි පිස්තෝලයක් හංගල තියෙනවා. ඒ සරත්සිරි හංගපු අතීතෙ. හංගන් ඉන්න සිංහල මානසිකත්වෙ. මේ පිස්තෝලෙම චිත‍්‍රපටයෙ සෙල්වි හංගන් ඉන්න දෙමළ මානසිකත්වෙ නිරූපණය කරන්නත් පාවිච්චි වෙනවා. සෙල්වි නිදාගෙන ඉන්න සරත්සිරිට පිස්තෝලෙ දික් කරනවා. මේ එළියට එන්නෙ දෙමළ ජනතාවගෙ හිත ඇතුළෙ තියෙන මානසිකත්වය. ඒ ප‍්‍රචණ්ඩ මානසිකත්වෙ, පළිගැනීමේ චේතනාව සමනය කරන්න අපි අදටත් අසමත් වෙලා තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව අපි යුද්ධය අවසන් කරේ නැතුව ජයග‍්‍රහණය කරපු එක. මේක අවසන් කරපු යුද්ධයක් නෙවෙයි. ජයග‍්‍රාහකයො සහ පරාජිතයො කියල කොටස් දෙකක් නිර්මාණය කරපු යුද්ධයක්. මට මේ චිත‍්‍රපටය පෞද්ගලිකව සුවිශේෂී චිත‍්‍රපටයක් වෙන්නෙ මේ කිව්ව අවසන් කාරණාවත් එක්ක. දෙමළ, සිංහල මානසිකත්වය ගැන නිර්මාණය කරන කතිකාවත් එක්ක. මේ දෙන්න එකිනෙකා හඳුනා ගත්තට පස්සෙ එකිනෙකාට ආදරේ කරන්න බය වෙන්නෙත් මේ දෙමළ සිංහල මානසිකත්වය නිසා.

මේ සිනමා නිර්මාණයෙ කතා කරනවා වගේ ඇත්තටම දෙමළ ජනතාවට ප‍්‍රශ්නයක් තියෙනවද? නලින් ද සිල්ව කියනවා නෑ කියල. නිර්මාල් රංජිත් කියනවා තියෙනවා කියල. ඇත්තටම දෙමළට ප‍්‍රශ්නයක් තියෙනවද? ඔව්, ඇත්තටම දෙමළට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක දෙමළා දෙමළ වීම නිසා ඇති වුණ ප‍්‍රශ්නයක්. එතකොට සිංහලයට ප‍්‍රශ්නයක් නැද්ද? තියෙනවා. සිංහලයටත් ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක සිංහලයා සිංහල වීම නිසා ඇති වුණ ප‍්‍රශ්නයක්. මේ දෙමළ, සිංහල මානසිකත්වයන් සුවපත් කරන්න කල් ගත වෙනවා. ඒක ඇත්ත. ඒත් මේ යුද්ධය ප‍්‍රචාරක උපකරණයක් ලෙස භාවිත කරන තුරු අපි දිගින් දිගටම අසමත් වෙනවා.

ප‍්‍රසන්න මේ සිනමා නිර්මාණෙ ඇතුළෙ අපිව සමතුන් කරන්න උත්සහ කරනවා වගේ අපට එක අවස්ථාවක දැනෙනවා. සෙල්වි සහ සරත්සිරි එකිනෙකා හඳුනා ගන්නවා. එතකොට අපිට ප‍්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා. ඒත් විනාඩි කිහිපයක් ඇතුළත සෙල්වි දිවි නසා ගන්නවා. අපේ උත්තරෙත් කැඩිල බිඳිල සුන්නද්දූලි වෙලා යනවා. පැලැස්තර විසඳුම් හොයනකන් අපි ඇත්තටම අසමත් කියල ප‍්‍රසන්න අපිට අන්තිමේදි කියනවා.

මම මේ චිත‍්‍රපටය බලල පැයක් වගේ ඇතුළත මගේ මිත‍්‍ර ආචාර්ය වරයෙක් අහම්බෙන් මුණගැහෙනවා. අපි දෙන්න මේ චිත‍්‍රපටය ගැන කතා කරා. ඒ සංවාදෙ ඇතුළෙන් අපි දෙන්න අවසාන අදහසකට ආවා. ප‍්‍රසන්න ප‍්‍රශ්නෙ අඳුර ගන්නවා. ප‍්‍රසන්න ප‍්‍රශ්නෙ කියනවා. ඒත් අන්තිමට ප‍්‍රසන්නත් අපිට උත්තරයක් දෙන්නෙ නෑ කියල. ඔව්. ප‍්‍රසන්නත් අපිට උත්තරයක් දෙන්නෙ නෑ. උත්තරයක් දුන්න නම් ප‍්‍රසන්න සිනමා නිර්මාණකරුවෙක් විධියට අසාර්ථක වෙන්නත් තිබුණා.

ජයග‍්‍රහණය කරපු යුද්ධයක් ඉවර කරන්න බැරුව අපි තවමත් අවුරුදු කිහිපයක් පුරා උත්තරයක් හොයනවා. අපි පුද්ගලයො විධියට වෙන් වෙන් වශයෙන් ගත්තොත් ඒකට උත්තර දෙන්න අපි කවුරුත් අසමත්. එහෙම අසමත් වුණ තවත් එකෙක් විධියට මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්න කවි පදයක් තෝරගත්තා. කවියක් සහ සිනමා නිර්මාණයක් එකට අරගන්න එක වරදක්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම ඒ වරද කරනවා. මාක්ස්වාදියෙක් සහ කවියෙක් වුණ එල්.ටී.ටී.ඊයේ සංස්කෘතික අංශ ප‍්‍රධානියා, පුදුවෛ රත්නතුෙරෙ ලියන පද කිහිපයක් මෙන්න මේ විධියට සිංහලයට පෙරළෙනවා.

”ශ‍්‍රී පාද කඳු මුදුනින් පමණි මා
හිරු උදාව
දකින්නට ප‍්‍රිය කරන්නේ......
එම අයිතිය
මට අහිමි නො කරන්න......”

ඒ අයිතිය සිංහල, දෙමළ කාටත් ලැබුණ දවසක ප‍්‍රසන්නත් උත්තර නොදුන්න, කිසිම කෙනෙක් මේ වෙනකන් දෙන්න උත්තරයක් නොදන්න ඒ ප‍්‍රශ්නෙට උත්තරේ ලැබේවි.

 

- ප්‍රමුදිත ලුණුවිලගේ -