Tuesday, July 19, 2016

"රාජ්‍ය මීටත් වඩා පීචං මචං"


පසුගිය ජූලි මස 01 වන දා රාජ්‍ය නාට්‍ය උළෙල නාඩා ආයතනයේදී පැවැත්විණි. උත්සවය පැවැත්වෙන ශාලාවේ ද්වාරයෙන් ඇතුල් වන විට ම ජගත් මනුවර්ණ විසින් කළු පටියක් මා අත තබනු ලැබී ය. සියලු නාට්‍ය ශිල්පීහු සිය අත්හි කළු පටි පැළඳ සිටියහ. චන්ද්‍රගුප්ත තේනුවරගේ පිළිගැනීමෙන් ඉක්බිති ජෙහාන් ශ‍්‍රීකාන්ත් මයික‍්‍රෆෝනය වෙත පැමිණ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල තුළ නාට්‍යකරුවන්ට වූ අසාධාරණය පිළිබඳ පෙන්වා දුන්නේ ය. මේ දූපතට අමතක වූ වේදිකා නාට්‍යකරුවන්ගේ වේදනාව පිළිබඳ පසුගිය දිනවල ජනමාධ්‍ය විසින් හරි හරියට උදම් ඇනූ නිසා ජෙහාන්ගේ අදහස් දැක්වීම පුනරුක්ත කිරීම අනවශ්‍ය යැයි සිතමි.

 

 සහභාගිත්ව සහතික ප‍්‍රදානය පළමු ව සිදු වූ අතර පළමු නාට්‍යකරුවා වේදිකාවට නගිද්දී ඔහුගේ තනි මැකීමට තවත් සහෝදර නාට්‍ය ශිල්පියෙක් වේදිකාවට නැංගේ ය. දෙවැන්නා අත පුවරුවකි. එහි "රාජ්‍ය මෙච්චර පීචං ද මචං?" යනුවෙන් සඳහන් විය.

 

 

කලාව කන්නදැයි විමසූ, රට තණම කන පාලකයෝ පාරිශුද්ධ යැයි කියන මේ භූමියේ උන්හ. එවැන්නෝ අදටත් සිටිත්. ආත්මයක් නැති උන් ආත්ම ප‍්‍රකාශනයක් වන කලාව නො හැඳිනීම අරුමයක් නො වේ. කලාකරුවාගේ වටිනාකම ආරක්‍ෂා කිරීමට තරම් බුද්ධිය මෙහෙයවීමේ හැකියාවක් ද ඔවුනට නැත. නාට්‍යකරුවන් විරෝධය පෑවේ සමස්ත කලාවට සිදුවන කුඩම්මාගේ සැළකිල්ලට යි. 'අපූර්ව' යන විශේෂණයට වඩාත් ම උචිත කලාකරුවන්ගේ මේ විරෝධතාවය මා මේ  දූපත තුළ දුටු රසවත් ම සහ සහ සාර්ථක ම විරෝධතාවය යි.

 

මේ කලාකරුවන්ගේ එක් අනතුරු ඇඟවීමක් පමණි. හෘදසාක්‍ෂ්‍යයක් සහිත කලාකරුවන්ට රටක් තුළ කළ හැකි සාමකාමී විප්ලව ගැන නිදසුන් එමට ය. මේ අනතුරු ඇඟවීමෙන් පාඩම් උගෙන පැවැති, පවතින සහ පවතින්නට නියමිත සියලු රජයන් කලාකරුවන් කෙරෙහි සිය අවධානය යොමු නො කරන්නේ නම් රාජ්‍ය තවත් පීචං වනු ඇත.

 

අරගලය ඇති තැන වටා මිනිසුන් එකතු වන බව අපි දනිමු. නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙකු වන සෞම්‍ය ලියනගේ පවා විරෝධතා පුවරුවක් රැගෙන වේදිකා ගත වීම ඊට සාක්‍ෂ්‍ය සපයයි. නාට්‍යකරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කේ. බී. හේරත් ද නාට්‍යකරුවන්ගේ විරෝධය සාධාරණ බව BBC පුවත් සේවයට ප‍්‍රකාශ කර ඇති අයුරු දිටිමි. කේ. බී. ඒ ප‍්‍රකාශය හදවතින් ම සිදු කළේ නම් වචන පසෙක තබා දැන්වත් ක‍්‍රියාත්මක වීම මැනවි.

 

මැති ඇමැති සුබසිද්ධිය තකා රිසි සේ මුදල් විසි කරන රජයට මිනිසාගේ සිත් සුවපත් කර මානසික තෘප්තිය උදාකර දීම සඳහා යෙදවීමට මුදල් නොමැති වීම සැබැවින් ම ප‍්‍රශ්නාර්ථයකි. කලාකරුවන් අරගල කරන්නේ ස්වකීය වටිනාකම ඉල්ලා මිස අධිවටිනාකමක් ඉල්ලා නො වේ. මේ ඉල්ලීම් ඉදිරිපිට වුව ද තව දුරටත් කලාකරුවන් ඇන්දවීමට රජයට අසීමිත පුහුණුවක් සහ හැකියාවක් ඇති බව අපට පිළිගන්නට සිදු වේ. මේ සංක්‍ෂිප්ත සටහන අවසන කලාකරුවන් නැගූ පැනයකට පිළිතුරක් දෙනු රිසියෙමි.

 

"රාජ්‍ය මෙච්චර පීචං ද මචං?"

 

"රාජ්‍ය මීටත් වඩා පීචං මචං."

 

- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -


(මෙම සටහන අච්චාරුවට ගෙන්වීමට පමා වූ අතර නිසි කල්හි "ඇත්ත" පුවත්පතේ පළ විය.)

Tuesday, May 24, 2016

ඉතින් අප තව දුරටත් පලා යා යුතු ද?

"ඇගේ ඇස අග" හඳගම විසින් අප නතර කරනු ලැබ ඇත. හඳයාගේ සෙසු නිර්මාණයන්ට සාපේක්‍ෂව යම් සරල ගතියක් මේ තුළ ගැබ් වී ඇතත් ඔහු කියන්නට තැතනූ කාරණාව සෙසු නිර්මාණයන්ගේ මෙන්ම බරපතල ය. අපට ”ඇගේ ඇස අග” නතර වන්නට සිදු වන්නේ ඒ නිසාවෙනි.

 

මේ නිර්මාණය කුටුම්භ සංරක්‍ෂණයේ නූතන භාවිතාව සහ කුටුම්භය තුළ පැවැතිය යුතු භාවමය කාරණා පිළිබඳවත් ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ ආශාවන්ගේ පරිමාව පිළිබඳවත් සංවාදයක් නිර්මාණය කරයි.
චිත‍්‍රපටය තුළ දිගහැරෙන්නේ ඉහළ මධ්‍යම පාන්තික කුටුම්භයකි. කුටුම්භය තුළ සාමාජිකයන් තිදෙනාම සිතා සිටින්නේ තම තමන් විසින් අනෙකාගේ සිහින සැබෑ කරමින් සිටින බව ය. නමුත් මේ කිසිවෙක් අනෙකාගේ සිහින සැබෑ කිරීමට සමත් නො වෙති. භෞතික සැප සම්පත් උදා කර දීම තුළින් පමණක් මිනිස් ආධ්‍යාත්මය සුවපත් නො වීමේ සත්‍යය නැවතත් අප ඉදිරියේ තහවුරු වෙයි.
"බතක් - වතක් - ගෙයක් - දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකි ද?
අසහනයෙන් මිදිය හැකි ද?"
මේ සේකර "ප‍්‍රබුද්ධ" කාව්‍යය තුළ නගන පැනයකි. මේ කුටුම්භය තුළ බත, වත, ගේ-දොර, රස්සාව ආදී සියලු භෞතික සම්පත්තීන් ඇත. නමුත් විමුක්තිය නැත. අසහනය පලා ගොස් නැත.

 

මේ කුටුම්භය තුළ මහාචාර්යවරයාගේ බිරිඳ සාමාන්‍ය ගෘහණියකි. මහාචාර්යවරයා නිවස තුළ ස්වකීය ආධිපත්‍යය පතුරවා ගත් සාමාන්‍ය ගෘහමූලිකයා පමණක් ම වන්නේ ය. මහාචාර්යවරයාත් බිරිඳත් කොරිඩෝව දිගේ සිය නිදන කාමරයට ගමන් කරන ආකාරය දර්ශන තල කිහිපයකදී ම දැක ගන්නට ලැබෙයි. එක සමාන සිදුවීම් දර්ශන තල කිහිපයක රූපණය කිරීම අනවශ්‍ය යැයි වරෙක හැඟෙනු ඇත. නමුත් මේ පෙන්වන්නේ කුටුම්භය තුළ ඔවුන් දෙදෙනා ම එකම මාර්ගයක නිරන්තරයෙන් ගමන් කරන බව ය. ඔවුන් දෙදෙනාගේ ගමනාන්තය වන්නේ ද නිදන කාමරය ම ය. එක ම මාර්ගයක ගමන් කළත් දෙදෙනාගේ අවසාන ක‍්‍රියාව එකිනෙකින් වෙනස් ය. එක ම මාර්ගයේ ගොස් අවසානයේ එකිනෙක වෙනස් ක‍්‍රියාපටිපාටීන්ට එළඹෙන දෙන්න දෙමහල්ලෝ කොතෙකුත් වෙති.

 

මේ දෙපළගේ දියණිය වන පාසල් දැරිය අසාමාන්‍ය පීඩනයකින් පෙළෙන්නියකි. ඇය ජීවිතය දකින්නේ රූප පෙට්ටියක් තුළිනි. ඇගේ ගමන නිවසෙන් පාසලටත් නැවත පාසලෙන් නිවසටත් යාම දක්වා පමණක් සීමා වූවකි. දියණියත් පියාත් අතර ඇති සම්බන්ධතාවය "හායි" යන වචනයටත් පැණිරස කෑමටත් පමණක් සීමා වූවකි. දැරිය සිටින්නේ සැපපහසු අසුනක ගුලි ගැසීගෙන ය. දැරියගේ මේ ඉරියව්ව පෙර සේකර කී කාරණාව නැවත සිහි කැඳවන්නකි. ඇගේ නිල අසුනේ පියා ඉඳගැනීමත් සමඟම ඕ බිමට වැටෙන්නී ය. ඒ වැටෙන්නේ ද සැපපහසු පුටුවෙන් ටයිල් පොළොවකට ය. පියාගේ ක‍්‍රියාවලිය තුළ ඇය මුහුණපාන පීඩනය උග‍්‍ර වීම හා අත්දකින සීමාවන් අතික‍්‍රමණය වීම ඒ තුළ සංකේතවත් යැයි හඟිමි.

 

මේ කුටුම්භ සාමාජිකයන් තම තමන්ගේ සිත් තුළ සිර කර ගත් ගැටුම් බොහොමයක් ඇත. ඒවා අනෙකාට හෝ බාහිර සමාජයට රූපණය වන්නේ ඉතාම අවම වශයෙනි. නිවසේ දොර නිරන්තරයෙන් අගුල් දමා වසා තබන්නේ මේ පීඩනය සිර කර තබා ගැනීමට ය. පිටතින් තට්ටු කරන විට පමණක් අභ්‍යන්තර සාමාජිකයෙකු විසින් දොර ඇරෙයි. ඒ බාහිරට ගිය අභ්‍යන්තර සාමාජිකයෙකු නැවත නිවස තුළට ඇතුල් කර ගැනීම සඳහා පමණක් ම ය. මේ ද්වාරයෙන් ඇතුල් වන එක ම බාහිර සාමාජිකාව වන්නේ මහාචාර්යවරයා සමඟ පෙමින් බැඳෙන සරසවි සිසුවිය පමණි.

 




සන්සුන් කුටුම්භයට බාහිරෙන් ආගමනය වන ‘සොඳුරු යකින්නක’ ලෙස ඈ නාමකරණය කිරීමේ වරදක් නැතැයි සිතමි. ස්වකීය ජීවිතයේ බැරියර් කඩා බිඳ දැමූ ඕ මේ කුටුම්භයේ සාමාජිකයන්ගේ ජීවන බැරියර් ද කඩා බිඳ දමන්නියක් වන්නී ය. මහාචාර්යවරයාගේ බිරිඳ විසින් සිය නිවස්නය තුළට වඩම්මන්නේ සිය කුටුම්භයට ඇඟිල්ලෙන් අනිමින් සිදුරු කරන්නට තැත් කළ තරුණිය යි.

 

ඇයගේ පැමිණීමෙන් පීඩනයට ලක් වූයේ මහාචාර්යවරයා පමණ ද? සැබැවින් ම ඔහු ද ඇයගේ ආගමනයට ආශා කරයි. නමුත් ඒ ආශාව සමඟ විවෘත ව ගැටීමේදී ඔහුට නානාප‍්‍රකාර සම්බාධක පැනවී ඇත. ඇගේ විවෘත සහ රහසිගත හැසිරීම් නිසාත් ඒවාට ප‍්‍රතිචාර දැක්වීමේ අවකාශයක් නො වීම නිසාත් ඔහුගේ පීඩනය දෙගුණ තෙගුණ වේ. ඔහු අසම්මත හැඟීම් ධාරාවක් සිත තුළ ගුලි කරගෙන සිය කුටුම්භය රැකිමේ නිෂ්ඵල වෑයමක යෙදෙයි.

 

තරුණිය මෙම වයසක, විවාහක මහාචාර්යවරයා කෙරෙහි බැඳුණු සිත් ඇතිව ඔහුව හිමි කර ගැනීමේ වෑයමක යෙදෙන ආකාරය චිත‍්‍රපටය පුරාම ප‍්‍රතීයමාන වේ. මහාචාර්ය නිවස්නයේ නවාතැන් ගැනීමට පෙර පටන් මහාචාර්ය බිරිඳට දුරකථනයෙන් කතා කරන්නේ ද ඒ අරමුණ ඇති ව විය හැකිය. නමුත් ඇගේ දෙබස් තුළ පෙනී යන්නේ ඊට වඩා විවෘත භාවයකි. මහාචාර්යවරයා තමන්ගේ ශරීරයේ සෑම ස්ථානයක් ම දන්නා බවත් බිරිඳගෙන් නො ලැබුණු යමක් ඔහු තමා වෙතින් සොයන බවත් ඕ ප‍්‍රකාශ කරයි. මහාචාර්ය බිරිඳ සිය නිවස්නයට ම ගෙන්වා නවාතැන් දෙන්නේ මෙවන් බරපතළ ගතු සිය සවන් මත රන්දන තරුණියට යි. එය තරුණියටත් සිය ස්වාමි පුරුෂයාටත් හමුවීමට ඇති අවස්ථා අවම කිරීමේ උපක‍්‍රමයක් ලෙස දකිමි. මන්දයත් මේ ගෘහණිය තුළ තරුණිය කෙරෙහි වෛරයකට වඩා දුර ගිය ප‍්‍රබල ඊර්ෂ්‍යාවක් ඇති බව පෙනෙන නිසා ය.
" ඕන නම් ගිහිල්ල අර ගෑණු ළමයා එක්ක නිදාගන්න. කාමරේ දොර ඇරල තියෙන්නෙ."
යනුවෙන් ප‍්‍රකාශ කිරීම තුළ ඇගේ ආවේග කෙතරම් ප‍්‍රබලදැයි විද්‍යාමාන වේ.

 

මේ ස්ත‍්‍රී දෙපළගේ ගැටුම උග‍්‍ර වන අවස්ථා ද නිවස තුළ නැත්තේ නො වේ. ”පට්ට වේසි” ආදී වචනවලින් ගෘහණිය තරුණියට ආමන්ත‍්‍රණය කරයි. නමුත් මේ කිසිවක් මහාචාර්යවරයා හෝ ඔහුගේ දියණිය දකින්නේ නැත. ගැටුම් රහසිගත ව සිදු වේ.

 

මේ ගැහැණු දෙපළ පන්සල් යති. කෑම මේසයේදී සතුටු සාමීචියේ යෙදෙති. ඔවුන්ගේ සාකච්ඡාව ඉයර් ෆෝන් යුගළකින් කන් වසා ගෙන සාකච්ඡුාවට සවන් නො දෙන පාසල් දැරිය හැර මේසයේ අසුන් ගත් අනෙක් තිදෙනාටම රිද්දවන්නට සමත් ය. අශෝක රජුගේ පේ‍්‍රමයත් ඡද්දන්ත ජාතකයත් ඔවුන්ට මාතෘකා වන්නේ ඒ සෑම කතාවකම ප‍්‍රධාන චරිත තුනට සමපාත වන චරිත තුනක් කෑම මේසයේ අසුන්ගෙන සිටිද්දී ය.

 

තමන්ගේ නිවසේදී සිය ඇඳුම් ගලවා එතැන ම දමන මහාචාර්යවරයා තරුණියගේ බෝඩිම් කාමරය පිළිවෙල කරයි. ඇගේ යට ඇඳුම් පවා නවා පිළිවෙලට තබයි. ඇගේ ඇඳුම් සිඹ බලයි. අවසන ඇගේ යහනේ ම නින්දට වැටෙයි. තරුණියට ආශා කරන, ඇගේ ශරීරය සමඟ දැඩි රාගයෙන් බැඳෙන මහාචාර්යවරයා සිය ප‍්‍රතිරූපය බිඳගැනීමේ අකමැත්ත නිසා ම ආශාව හුදෙකලාවේ විඳගනිමින් ස්වයං වේදනාවකට ලක් වෙයි. බිරිඳට සිය නාභියෙන් පහළ ප‍්‍රදේශය තහනම් කලාපයක් කරන ඔහුගේ පුරුෂ ලිංගය තරුණිය සිහිනයෙන් දැකීමෙන් පමණක් නග්න වෙයි. සිය නීත්‍යානුකූල බිරිඳට වඩා වැඩි ආශාවක් සිය අනියම් පේ‍්‍රමවන්තිය වෙනුවෙන් ඔහු සිත් හි ඉපදී හමාර බවට එයින් සාක්‍ෂ්‍ය සැපයෙයි. නීත්‍යානුකූල ජීවිතය සහ අනියම් ජීවිතය සංසන්ඳනය කිරීම ස්වකීය රහස්‍ය පුද්ගලික ජීවිතයන්ට අන්තර්ගත කර මිනිතය නො කරන තාක් කල් අපට අපේ හෘදසාක්‍ෂ්‍යය පිළිබඳ උදම් ඇනිය හැකි ය. එහෙත් එය කිර මැන බැලෙන දිනෙක පේ‍්‍රක්‍ෂක අප ද මේ යථාර්ථය තේරුම් ගනු ඇත.

 

පාසල් දැරිය මහාචාර්යවරයාගේත් තරුණියගේත් පේ‍්‍රමය ගැන කොතෙක් දුරට දැනුවත් ද යන බවට ඉඟියක් චිත‍්‍රපටයේ මුල් භාගය පුරා ම හමුවන්නේ නැත. නමුත් උදෑසන ගමනේදී පාසල් දැරිය තරුණියට පහර දෙන අවස්ථාවේ මහචාර්යවරයාගේ මැදිහත්වීමට පාසල් සිසුවිය දක්වන වාචික ප‍්‍රතිචාරය ප‍්‍රබල ය.
"ඇයි මොකද? තමුසෙට රිදෙනවද?"
දියණිය පියා වෙත විසි කර දමන මේ ප‍්‍රශ්නයේ මෙතෙක් ඇය තුළ සැඟවී තිබූ ආවේගාත්මක ගිනි ජාලාව අන්තර්ගත ය. දැරියගේ දැනුවත් භාවය පිළිබඳ පේ‍්‍රක්‍ෂක ගැටලුවට ද මෙයින් පිළිතුරු ලැබෙයි. දැරිය සියදිවි නසාගැනීමේ තැතක් දක්වා ගමන් කරන්නේ පැණිරස කෑමෙන් තමා සැනසූ පියාගෙන් සිදු වූ අඩුපාඩුවක වාඩුව ගැනීමට දැයි මොහොතකට සිතෙයි. අවසානයේ දැරියගේ දිවි ගලවා ගන්නේ ද තරුණිය විසින් ම ය. තරුණිය මහාචාර්ය නිවසින් ස්වයං ව පිටුවහල් වන්නේ පාසල් දැරියගේ දැනුවත් භාවයේ ප‍්‍රතිඵලයක් මත යැයි ද හඟිමි.

 

ඊට පසුදින මහාචාර්යවරයා සිය නිවස තුළ හුදෙකලා වීම තුළ ඔහු කෙතරම් නිදහස් භාවයක් ලබන්නේ ද යන්න පැහැදිලි වෙයි. ඔහු තුවාය පමණක් ඇඳ රහසින් ම නිවසේ දොර අගුල් දා ගීත ශ‍්‍රවණය කරයි. නර්තනයේ යෙදෙයි. ජීවන දොරටුව අගුල් ලාගෙන කාටත් හොරෙන් මේ නිදහස් හුදෙකලාව භුක්ති විඳීමට අපි සියල්ලෝම කැමැත්තෙමු. ඔහුගේ නිදහස් භාවයන්ට පෙරළි කරන්නට වැඩි වේලාවක් අවකාශ නැත. තරුණිය නවාතැන් ගත් සිය පුත‍්‍රයාගේ කාමරය දකින ඔහු එයට වැද තරුණියගේ සුවඳ විලවුන් බෝතලයත් සමඟ සුපුරුදු පීඩනයක ගුලි වෙයි. ඔහු තරුණිය සමඟ යහන්ගත වන්නේ ද මේ පීඩනයත් සමඟින් ය. තරුණිය මහාචාර්යවරයාගේ හදවත අභ්‍යන්තරයේ තැබූ සලකුණු මහාචාර්ය හදවත මතුපිට සිය නියපොතුවලින් තබයි. පිරිමියෙකුගේ පිට ගැහැණියකගේ නියපොතුවලින් කවි ලියැවෙන කැටපත් පවුරක් බව වෙඩිවර්ධන "මගේ ආදරණීය යක්ෂණී" නවකතාවේ ලියා තබයි. තරුණියට මහාචාර්යවරයාගේ පපුව ද කැටපත් පවුරක් විය. ඒ කැටපත් පවුරේ සලකුණු ම ඔවුන්ගේ රහස් හමුවීම හෙළි කරන්නට සමත් වෙයි. රහස් පේ‍්‍රම සබඳතාව හෙළිදරව් වීමේ වේදනාව මහාචාර්යවරයා අත්විඳින්නේ සිය නීත්‍යානුකූල බිරිඳ සමඟ සයනාරූඪ වූ නිමේෂයක ය. තරුණියගේ විලවුන් සුවඳ නිවස පුරා පැතිරී තිබීම, පසු දින වන විට විලවුන් බෝතලය හිස් වී තිබීම සහ තරුණියට විලවුන් බෝතලය අමතක වී පසු දින එය රැගෙන යාමට නැවත පැමිණීම ද අහඹුවක් නො වන බව සිතන්නට පේ‍්‍රක්‍ෂකයාට බල කෙරෙයි. තරුණිය විසින් දිගහරින විලවුන් බෝතලයේ කතාව ඊට සාක්‍ෂ්‍ය දරයි. තරුණිය මේ නිවසෙහි නවාතැන් ගැනීම ගැන පශ්චාත්තාපයෙන් සිටින්නී ය. 'මහාචාර්යවරයා දිනාගැනීමේ සටන' තුළ ඇය පසුගාමී වන්නේ මේ නිවසෙහි නවාතැන් ගැනීමට පැමිණීමෙන් බව ඇය ස්වයං විවේචනයෙන් පවසයි. එසේ නම් ගෘහණියගේ උපක‍්‍රමය සාර්ථක වී ඇත.

 

මෙතුවක් ”ඇගේ ඇස අග” දැල්වුණ වෙඩි පහරවල් දෙවැනි කරමින් මල්ටිබැරල් ප‍්‍රහාරය දියත් වන්නේ චිත‍්‍රපටය අවසානයේ ය. ඒ ප‍්‍රහාරයට ලක් වන්නේ සත්ගුණවත් යැයි කියාගන්නා ඊනියා බෞද්ධ සමාජය යි. බෞද්ධත්වය යැයි නාමකරණය කරමින් ප‍්‍රති-බෞද්ධත්වයක් වෙනුවෙන් සටන් වදින ප‍්‍රචණ්ඩකාරී සමාජය යි. සිව්කොණ විසිර සිටි ප‍්‍රධාන චරිත හතර ම බෞද්ධ විහාරයකට රොක් වෙති. මල්, පහන් ගෙන කොහේදෝ සිට පැමිණි ඇමති බිරිඳක් ගැටුමකට මුලපුරයි. භික්‍ෂු අණ නොතකා පහන්වැට ඔසවාගෙන අධ්‍යාත්මය සන්සුන් වූ හෝ නොවූ උවැසියකට පහර දෙන්නට යන්නේ ප‍්‍රති-බෞද්ධත්වය විසින් බෞද්ධත්වයට පහර දෙන්නා සේ ය. මේ ගැටුමට මහ වැසි ඇද වැටෙද්දී සිව්කොණ විහිද සිටි චරිත හතර අත්වැල් පටළාගෙන එක්තැන් වෙති. එතැනින් පලා යති. ඉක්මණින් පලා යති.

 

මහාචාර්යවරයා සුක්කානම කරකවන දෙසකට පලායන්නට ඉතිරි තිදෙනා සූදානම් ය. දැන් පේ‍්‍රක්‍ෂක අපට ගැටලුවකි. මොවුන් පලා යන්නේ කොතැනින් කොතැනට ද? ඔවුහු මෙතැනින් පලා ගියහ. ප‍්‍රති-බෞද්ධත්වය විසින් උත්කර්ෂයට නංවන ලද ඊනියා බෞද්ධ සමාජයෙන් පලා ගියහ. බාහිර සමාජ සාධක නිසා යටපත් කර ගත් ඔවුන්ගේ ගුප්ත ආධ්‍යාත්මයන්ගෙන් පලාගියහ. ස්වකීය ජීවිතවල රහස් සඟවා ගත් ගැටුම් භූමියෙන් පලා ගියහ. කෙසේ හෝ ඔවුහු ගැටුමෙන් පලා ගියහ. මේ ගැටුමෙන් පලාගොස් ඔවුන් නවාතැන් ගන්නා තැන තවත් ගැටුමක් පැවතිය හැකි ය. එතැන්හි දී ඔවුන්ගේ ජීවිතවල තවත් රහස් උපදිනු ඇත. එවිට ඔවුන් එතැනින් ද පලා යනු ඇත. පලා යාම කෙළවරක් නො වෙනු ඇත.

 

අප නිරන්තරයෙන් කරන්නේ මෙය නො වේ ද? මෙතැන ගැටුමක් ඇති විට අපි මෙතැනින් පලා යන්නෙමු. එතැන ගැටුමක් ඇති විට අපි එතැනින් පලා යන්නෙමු. පලා යනු විනා ගැටුම සමථනය හෝ ගැටුම නිරාකරණය වෙනුවෙන් අපි නො නවතින්නෙමු. දිගින් දිගටම පලා යමින් සිටින්නෙමු. කුටුම්භය රකින ගෘහණියගේ අවසන් ප‍්‍රකාශය ඔස්සේ අපට සිතන්නට ඇත්තේ මේ පලා යෑම් දාමය යි.

 

ඔවුන් පලා යන අතරතුර "ඇහැරෙන්න" යැයි චිත‍්‍රාල් අපිට හඬ නගා කියයි. දැන් අප මේ පලා යාමේ සිහිනයෙන් ඇහැරිය යුතු ය. එතැනින් මෙතැනටත් මෙතැනින් එතැනටත් පලා යාම වෙනුවට නවාතැන් ගෙන විසඳුම් සෙවිය යුතු ය. හඳගම එසේ කීවත් අප ඇහැරෙන්නටවත් නවතින්නටවත් සූදානම් නැත. අපි දිගින් දිගටම පලා යන්නෙමු. මන්දයත් පලා යාම දැන් අප විසින් පුරුදු කර ඇත්තේ ය.

 

- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -

Tuesday, April 5, 2016

ඉදිරියෙන් සිට ඉක්මණින් ගිය මිනිසා


ශ්‍රීපාලි මණ්ඩපෙය් ප්‍රවේශ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වීමට ගියෙමි. මා ශාලාවෙන් පිටත රැඳී සිටිද්දී ත්‍රීරෝද රථයකින් අමුතු ම මිනිසෙක් බැස ගත්තේ ය. ඔහු පුංචි මිනිසෙකි. ඔහුටත් වඩා විශාල කමීසටක් අැඳගෙන බෙල්ල ද හිර වන තරමට බොත්තම් පැළඳ සිටියේ ය. ත්‍රීරෝද රථයෙන් බැස දත් පෙන්නා සිනාසුණ ඔහු සැහැල්ලුවෙන් ශාලාවට අැතුල් වූයේ ය. "මේ මොන ජාතියෙ හාදයෙක් ද?" මම කල්පනා කළෙමි. මේ අපූර්ව මිනිසා මා ඉදිරිපිට සම්මුඛ සාකච්ඡා මණ්ඩපයේ ද ඉඳගෙන නිර්ව්‍යාජ ලෙස සිනාසුණේ ය. එ් මා පසන් කොඩිකාරයන් සම්මුඛ වූ පළමු නිමේෂය යි.

විශ්ව සාහිත්‍යයේ සිංහල නෞකාවක් වූ පසන්ගේ පරිවර්තන කාර්යය ගැන අදහස් පළ කිරීමට තරම් අපි ප්‍රාමාණිකයෝ නො වෙමු. පරිවර්තකයෙකු ලෙස ප්‍රකට වීම නිසා ම පසන් කොඩිකාර නම් කවියා බොහෝ දෙනෙකුට මඟ හැරිණි. පසන් විග්‍රහ කිරීමට ඔහුගේ පළමු සහ අවසාන කාව්‍ය සංග්‍රහය වන "අනිත්‍යය" පැදි වියමන් හි එන කවි පද කිහිපයක් උචිත යැයි සිතමි.

ලෝකයේ කතර මත

මිරිඟුවකි විනාශය

කාලයේ නිරන්තර

හිස්තැනකි අතීතය

පිපාසිත ජීවිතේ

තොල් අතර ගැටෙනමුත්

කිසිත් එ් තුළ නොමැත

හිස්ය මරණයෙ බඳුන

අතීතය හිස් ය. මරණයත් හිස් ය. නමුත් ඔහු වර්තමානය ප්‍රශ්න නො කරයි. අතීතයේ බැඳීම්වලින් සහ අනාගතයේ බැඳීම්වලින් වියුක්ත ව ගෙවන වර්තමාන ජීවිතයක් පිළිබඳ අදහසක් මතු වේ. මේ පසන් ගෙවූ ජීවිතය ම නො වේ ද? වර්තමානය පමණක් අතගාමින් අතීත, අනාගත බැඳීම් ප්‍රහීන කරමින් ජීවත් වීම ඔබට-මට කළ හැක්කක් ද යන වග අප ප්‍රශ්න කර ගත යුතු ය.

"අනිත්‍යය" නමින් කවි ලියන පසන්ගේ ජීවිතයේ අනිත්‍යය පිළිබඳ ප්‍රායෝගික භාවිතාව හඳුනා ගැනීමට නම් ඔහු සිය සුරූපී රුසියානු පෙම්වතිය පිළිබඳ දක්වන අාකල්පයත් අැය කෙරෙහි ක්‍රියාත්මක වන අාකාරයත් හඳුනා ගැනීම ප්‍රමාණවත් ය. ජීවිතය අහිමි වන්නට නියමිත වූවක් බව දැන උන් පසන් මෙසේ ලීවේ ය.

ජීවිතය සඟලක්ය මිරිවැඬි

කාලයේ මඟ මත ගෙවී යන

කබල් වී ගැලවිලා යනු අැත

ලෝකයේ පාවලින් ඉවතට

පසන් තේරුම් ගත් සත්‍යය තේරුම් නො ගත් අප "ඔහු බොහීමියානුවෙකි" යැයි නාමකරණය කරමින් පසන් විචාරය කිරීම අපට උචිත ද යන්න මේ සංක්ෂිප්ත සටහන ලියැවෙන මොහොතෙහි පවා මා සිත් හි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරයි. හේතුව පසන් කළ 'අත්හැරීම' කරන්නට අප තවමත් අසමත් වී සිටීම ය. පෘථග්ජන සමාජයෙන් දුරස්ථ වන තරමට පසන්ගේ 'අත්හැරීම' බලවත් විය. සැබැවින් ම පසන් යනු වර්තමානයේ නොව, අනාගතයේ ජීවත් වන මිනිසෙකි.

ශිෂ්ටාචාරය විසින් සභ්‍යත්වයට පමුණුවන ලද සමාජයක් පිළිබඳ ව අප උන්මාදයෙන් කතා කරද්දී පසන් එ් සමඟ ගොඩනැංවුණු සීමාවන් නිරුත්සාහික ව ම අතික්‍රමණය කළේ ය.  පසන්ගේ වියෝවෙන් වසරක් ගිය තැන් හි ද අපට ප්‍රකාශ කරන්නට අැත්තේ වර්තමානයේ ජීවත් වන උන් මළවුන් වෙද්දී වර්තමානයේ මිය ගිය පසන් අනාගතයේ ද ජීවත් වන වග ම ය.

 

- චලක ප්‍රමුදිත ලුණුවිලගේ -

Wednesday, October 21, 2015

සිංහල මනැස දෙමළෙන් කියවීම සහ දෙමළ මනැස සිංහලෙන් කියැවීම


වරක් වාරණයට ලක් වුණ සිනමා නිර්මාණයක්. සිංහල මානසිකත්වයෙන් බැලූවම, ජාතිකානුරාගය ඉස්මුරුත්තාවට අරන් බැලූවම වාරණය කළ යුතු චිත‍්‍රපටයක්. ඒත් ජාතිකානුරාගය කියන කාරණාව ඇතුළෙ ජාතික ප‍්‍රශ්නයට හැඟීම වලින් ලබා දෙන කුපිත කිරීමක් මිසක් බුද්ධිමත්ව ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නෑ. අපේ රටේ ජාතිකානුරාගය කියන හැඟීම පාවිච්චි කරල මිනිසාගේ බුද්ධිය මොට කරපු අවස්ථා අනන්ත අප‍්‍රමාණ අපි දැකල තියෙනවා. අදටත් ඒ දේ ඒ විධියටම වෙනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද අපිට ඒ දේවල් එහෙම පේන්නෙ නැති එක. සමහර විට අපි ඒක එහෙම දකින්න කැමති නැතිව ඇති.

ප‍්‍රසන්නගෙ සිනමාව ටිකක් අතීතෙට අරන් ගිහිල්ල මම යනවා "පුරහඳ කළුවර" වෙතට. දෙමළා ගැන කතා නොකරත් යුද්ධය කියන කාරණාව ඇතුළෙ අපිට ඇත්තටම වෙන්නෙ මොකද්ද කියන කාරණාව "පුරහඳ කළුවර" ඇතුළෙ කතා වෙනවා. ඒ පුරහඳ කළුවරයි. කළුවර පුරහඳත් අරගෙන මම දැන් එනවා අපි දැන් කතා කරන සිනමා නිර්මාණයට. පුරහඳ කළුවරෙන් කළුවර පුරහඳට හෙවත් ප‍්‍රසන්නගෙ "ඔබ නැතුව ඔබ එක්ක" සිනමා නිර්මාණයට.

"ඔබ නැතුව ඔබ එක්ක" චිත‍්‍රපටය ප‍්‍රධාන කාරණා කිහිපයක් ඔස්සේ ලඝු කරගෙන මම මගේ අදහස සටහන් කරන්නම්.

පළවෙනි කාරණාව ධනය. චිත‍්‍රපටයේ පළමු අර්ධය පුරාම මට පේන්නෙ අර්ථික සාධකය කොයි තරම් දුරට මිනිසාට බලපෑම් කරනවද කියන වග. ලොකු ජනතාවක් වාසය නොකරන කඳුකරේ පුංචි නගරෙක උකස් බඩු කඩයක් විතරක් කරගෙන ජීවත් වෙන මනුස්සයෙක් සරත්සිරි. ඒ පුංචි නගරෙත් කඩේට රත්තරන් බඩු උකස් කරන්න මිනිස්සු පෝලිමේ එනවා. ඒකෙන් පේන්නෙ මිනිස්සු ඉන්නෙ කොයි තරම් පීඩනයකින්ද කියන වග. ගාමිණි ආව දවසෙ කඩේ අරින්නත් කලින් මනුස්සයෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. ඒක අධ්‍යක්‍ෂවරයා ගාමිණිවත් සෙල්විවත් මුණගස්වන්න යොදා ගනිපු උපක‍්‍රමයක් වෙන්න පුළුවන්. ඒත් ඒ උපක‍්‍රමේ ඇතුළෙ ආර්ථිකය සම්බන්ධ කියවීමකුත් යන්තම් ස්පර්ෂ කරනවා වගේ මට දැනෙනවා.

සරත්සිරි සෙල්විව දකින්නෙ කඩේට රත්තරන් බඩු උකස් කරන්න එද්දි. සෙල්වි සරත්සිරි ළඟ තමන්ගෙ හැම රත්තරන් බඩුවක්ම උකස් කරනවා. අන්තිමට තමන්ගෙ ජංගම දුරකථනයත් උකස් තියන්න එනවා. ඒත් සරත්සිරි උකස් ගන්නෙ රත්තරන් බඩු විතරයි. සෙල්වි අන්තිමට තමන්ගෙ කොන්තයත් උකස් කරනවා. මේක ආර්ථික කාරණය සම්බන්ධ කියවීම ඇතුළෙ විශේෂ අවස්ථාවක් විධියටයි මට පේන්නෙ. ඒ කියන්නෙ මිනිසාට ජීවත් වෙන්න අර්ථික සාධකේ හරස් වෙන අන්තිම අවස්ථාවෙදි ගොඩ එන්න බැරිම වුණාම මිනිසා තමන්ගෙ ආගමත් උකස් කරනවා. ඒක කොයි තරම් ශ‍්‍රද්ධා සම්පන්න කෙනෙක්ට වුණත් පොදු කාරණාවක්. ප‍්‍රතිඥා දෙන්න පුළුවන්, මං එහෙම කරන්නෙ නෑ කියල  ඕනම කෙනෙක්ට. ඒත් ඒ තත්ත්වෙට වැටුණම මම ඔබ කවුරු වුණත් ඒ දේ කරනවා. මගේ පෞද්ගලික මතය අනුව නම් අද වෙද්දි ආගම උකස් කරන එකත් සාමාන්‍යකරණය වෙලා තියෙනවා. හේතුව ආගම මිනිසාගේ ඉස්මුදුනට වැදීම සහ අද වෙද්දි මිනිසා පාලනය කරන්න ආගමත් අසමත් වීම.

ආර්ථික සාධකය ඇතුළෙ තමයි මිනිසාගෙ බලාපොරොත්තු ගොඩ නැංවෙන්නෙ කියන එකට තවත් උදාහරණයක් දෙන්න පුළුවන් සරත්සිරිට තේ කෑල්ල ගැන තියෙන ආශාවෙන්. ඒ ආශව නිසාම දවසකට වියදම් කරන්න  ඕන රුපියල් තුන් සියයයි කියල සරත්සිරි කියනවා.

ආර්ථික සාධකය සම්බන්ධ කතන්දරේ උච්ඡතම අවස්ථාවට අරන් එන්නෙ සරත්සිරි සෙල්විට බණිද්දි. සරත්සිරි වචන වලින් තමන්ගෙ ආවේග පිට කරනවා. "පට්ට බැල්ලි. උඹ අද ඔහොම කතා කරන්නෙ මං නිසා." ඔව්. රත්තරන් බඩු උකස් කරන්න ඇවිල්ල සරත්සිරිගෙ මූණ දිහා කෙළින් නොබලපු සෙල්වි අද සරත්සිරිට බණිනවා. ඇත්තටම ඒ ශක්තිය දුන්නෙ සරත්සිරිගෙ සල්ලි. සමහර විට සෙල්වි සරත්සිරි එක්ක විවාහ වෙන්න එකඟ වීමත් මේ ආර්ථික සාධකය මුල් කරගත්ත දෙයක් කියල අපිට හිතන්න පුළුවන්. සෙල්විගෙ රත්තරන් බඩු තියෙන්නෙත් මේ පුද්ගලයා ළඟ. අද කාලෙ පිරිමියෙක්ගෙ ඉතිහාසෙ මොකුත්ම නොදැන ඔහුත් එක්ක විවාහ වෙන්න සූදානම් ගැහැණු ඉන්නවා කියල මං හිතන්නෙ නෑ. ඉතිහාසය නොදන්න පිරිමිත් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන්. ඒත් විවාහය සම්බන්ධ කාරණාව ඊට වඩා වෙනස්. එහෙනම් ඇත්තටම සෙල්විගෙ මේ එකඟතාවයට හේතුව සරත්සිරිගෙ සල්ලිම වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

කැමති කෙනෙක්ට පුළුවන් මේ වගේ කාරණා වලින් ගිහිල්ල "ඔබ නැතුව ඔබ එක්ක" චිත‍්‍රපටය මාක්ස්වාදී දෘෂ්ටියකින් විචාරය කරන්න. ඒත් මට හිතෙන්නෙ එහෙම එක දෘෂ්ටිකෝණෙකට විතරක් සීමා වෙන එක සිනමා නිර්මාණයට කරන අසාධාරණයක්.

 

මම මේ චිත‍්‍රපටයේ කියව ගත්ත ඊළඟ කාරණාව වෙන්නෙ ආදරය සහ කුටුම්භය. සෙල්විගෙත් සරත්සිරිගෙත් කුටුම්භය ඇතුළෙ තියෙන්නෙ පුරුෂාධිපත්‍යය කියල ගොඩක් පිරිස් කියනවා. සරත්සිරි බලවත් වෙන්නෙ පුරුෂාධිපත්‍යය නිසාලු. ඒත් ඇත්තටම මට හිතෙන්නෙ සරත්සිරි බලවත් වෙන්නෙ පුරුෂාධිපත්‍යය නිසා නෙවෙයි, ආර්ථික සාධකේ නිසා. මං ආයෙත් අර්ථික සාධකය සම්බන්ධ කතිකාවට යන්නෙ නෑ.

සරත්සිරි සෙල්වි විවාහ කරගන්නෙ සෙල්වි ගැන ආදරයෙන්මද කියල ප‍්‍රශ්නයක් මතු වෙනවා. සරත්සිරිට සෙල්වි දැකපු අවස්ථාවෙ යම් හැඟීමක් ඇති වෙනවා. ඒත් සරත්සිරිට තමන්ගෙ හෘදසාක්‍ෂ්‍යය පිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ අවශ්‍යතාවෙ සපුර ගන්න සෙල්වි සරත්සිරි සමග විවාහ වෙන්න එකඟ වුණා වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙන්න විවාහ වෙද්දි ඇත්තටම මේ දෙන්නට මේ දෙන්න ගැන ආදරයක් තිබුණද කියල ප‍්‍රශ්නයකුත් මතු වෙනවා. කලක් යද්දි මේ දෙන්න තම තමන්ගෙ හිත් ඇතුළෙ අනෙකා ගැන ප‍්‍රතිරූපයක් නිර්මාණය කර ගන්නවා. ඒක ඇත්ත නෙවෙයි. ඒක දවටනයක් විතරමයි. ඒ දවටනේ ලිහන්න සමහර වෙලාවට සෙල්වි උත්සහ කරනවා. ඒත් සරත්සිරි ඒකට ඉඩ දෙන්නෙ නෑ. සරත්සිරිට රකින්න රහසක් තියෙනවා. සෙල්වි නොදන්න ඇත්තක් සරත්සිරි දන්නවා. ඒ තමයි මේ ප‍්‍රතිරූපෙ බින්දොත් මහා පිපිරීමක් වෙනවා කියන වග.

සරත්සිරි උත්සහ කරන්නෙ මේ ප‍්‍රතිරූපෙ ආරක්‍ෂා කරගන්න. අපි ඇත්තටම මේ සමාජෙ ඇතුළෙ අපේ ප‍්‍රතිරූප ආරක්‍ෂා කර ගන්න කොයි තරම් ලොකු උත්සහක් ගන්නව ද? ඒත් ඒක සෙල්විට දැනෙන්නෙ නෑ. තමන්ගෙ විවාහක ස්වාමියා කියන්නෙ ඇත්තටම සරත්සිරිගෙ ප‍්‍රතිරූපෙ පමණක් බව නොදැන සෙල්වි සරත්සිරිට ආදරේ කරනවා.

ඒ අතරෙ එන සරත්සිරිගෙ යාලුවා, ගාමිණි, ඇත්තටම ඒ තමයි දුෂ්ඨ ගාමිණි. චිත‍්‍රපටයෙ හැරවුම් ලක්‍ෂයත් ගාමිණි. ගාමිණි ආවෙ නැත්නම් සෙල්වි මැරෙන්නෙ නෑ. එහෙනම් සෙල්විත් සරත්සිරිත් තාමත් පවුල් කනවා. දුෂ්ඨ ගාමිණි සරත්සිරි හංගන්න උත්සහ ගන්න අතීතෙ සෙල්වි ඉස්සරහ ගොඩදානවා. එතන ඉඳන් සෙල්වි ගොඩනඟා ගත්ත සරත්සිරිගෙ ප‍්‍රතිරූපෙ බිඳෙනවා. නියම සරත්සිරි මතු වෙනවා. නියම සරත්සිරිට සෙල්වි වෛර කරනවා. දෙන්න ගැටෙනවා. සරත්සිරි පාපොච්ඡාරණය කරනවා. කලක් යද්දි දෙන්නම ආයෙත් යථා තත්ත්වෙට පත් කරනවා. සරත්සිරි මෙතුවක් සෙල්වි ආස කරපු කිසිම දේකට ආස කරේ නෑ. ඒත් මෙතන ඉඳන් සරත්සිරි සෙල්වි ආස කරපු හැම දෙයක්ම කරනවා. එතකොට සෙල්වි සරත්සිරිට ආදරේ කරන්න බය වෙනවා. ඇත්තටම මේ වෙන්නෙ මොකද්ද? මිනිස්සු ප‍්‍රතිරූපවලට ආදරේ කරනවා. ඒත් ඒ ප‍්‍රතිරූප බිඳිල ඇත්ත එළි වුණාම, යතාර්ථය එළියට ආවම අපි ඒකට ආදරේ කරන්න බය වෙනවා. ඒක අපි කාටත් පොදුයි. සරලව හිතල බැලූවොත් අපි කවුරුත් ආදරේ කරන්නෙ තමන්ගෙ අනෙකාගේ ප‍්‍රතිරූපෙට. ඒක බිඳිල ගිහිල්ල ඌ ප‍්‍රකෘතියක් වෙලා ඒ ප‍්‍රකෘතිය එළියට පැන්නොත් එදාට අපි ඒක පිළිකුල් කරන මට්ටමට යනවා.

ඇත්තටම අවසානය වෙද්දි අනෙකා තේරුම් ගන්න මේ දෙන්නම බය වෙලා කියලයි මට හිතෙන්නෙ. ඒකට හේතුව මේ දෙන්නම දන්නවා මේ දෙන්න යන්නෙ මර්ග දෙකක කියල. ඒ මර්ග දෙකේ උදාසීනව යන්න මිසක් ගැටෙන්න මේ දෙන්නම උත්සහ කරන්නෙ නෑ. ඇත්තටම ගැටුණොත් තමයි මේ දෙන්නටම නියම විසඳුමකට යන්න පුළුවන් වෙන්නෙ. ඒත් දෙන්නම ගැටෙන්න බයයි. ආදරේ කියන කාරණාවත් එක්ක ඒ ගැටුම් සහගත මනෝභාවයන් හරිම සීරුවට එළියට පෙන්නනව කියන්නෙ සිනමා නිර්මාණයක් ඇතුළෙ තරමක අභියෝගයක්. ප‍්‍රසන්න ඒක ජය ගන්නවා.

අපිට එක අවස්ථාවක් චිත‍්‍රපටයෙ මුණගැහෙනවා සෙල්විගෙ ආදරේ නිසා සරත්සිරි අනෙකාව හඳුනා ගන්න අවස්ථාවක්. මුලින්ම උකස් කරපු තැල්ල වෙනුවට වළලු දෙක තියන්න ආව දෙමළ කාන්තාවට එහෙම කරන්න බෑ කියපු, එහෙම කරපු වරදට සෙල්විට ආයෙත් කඬේට ආවෙ නැතුවට කමක් නෑ කියපු සරත්සිරි ඒ දෙමළ කාන්තාව ආයෙත් තැල්ල උකස් කරන්න ආවම තැල්ල උකසට නොගෙන ඒ වෙනුවට ණයක් දෙනවා. ඇත්තටම දෙමළ ගෑණියෙකුට තැල්ල කොයි තරම් වැදගත්ද?

ආදරයත් එක්ක ලිංගිකත්වයත් දර්ශන කිහිපයක් මගින් පමණක් යන්තම් ස්පර්ෂ කරනවා. අන්තිමට ආදරය එක්ක අපි ජීවත් වෙන කෘතීම පරිසරය සහ ඒකෙන් පෝෂණය වෙන කෘතීම මනෝ භාව පෙන්නන ආකාරය නිසා මේ චිත‍්‍රපටය ඇතුළෙ ආදරේ පිළිබඳ වෙනස්ම කතිකාවත් පහසුවෙන් ඉස්මතු වෙනවා කියලයි මට හිතෙන්නෙ.

මම මේ චිත‍්‍රපටයෙන් මතු කර ගන්න ඊළඟ කාරණාව වෙන්නෙ යුද්ධය සහ ජාතිය. සිංහල බෞද්ධ පිරිමියෙකුගේ සහ දමිළ කතෝලික කාන්තාවකගේ කතාව තමයි "ඔබ නැතුව ඔබ එක්ත" කියන්නෙ. මේකෙ කියවෙන බරපතළම කාරණාව තමයි සිංහල හා දෙමළ මානසිකත්වය.

යුද්ධෙන් පස්සෙ සිංහලය හිතන් ඉන්නෙ දැන් ඔක්කොම ප‍්‍රශ්න ඉවරයි, දැන් දෙමළත් සතුටින් ඉන්නෙ කියල. නෑ, ඒ කතාව වැරදියි. සිංහල අපි තාමත් දෙමළ මිනිස්සු දිහා බලන්නෙ ‘ඒ කොටි’ කියන මානසිකත්වයෙන්මයි. මේ කාරණාව මං කිව්වම මගේ සිංහල මිත‍්‍රයො කිහිප දෙනෙක් මට කිව්වා ‘අනේ අපි නම් එහෙම නෑ’ කියල. කොළඹ ඉඳන් බලන අපිට ඒක තේරෙන්නෙ නෑ. ඒත් අපි අද උතුරට ගිහිල්ල බැලූවොත් මොකද්ද අපිට හිතෙන්නෙ? සිංහල අපි උතුරෙදි තනි වෙලා වගේ දැනෙයි. හැමතැනම අපිට ඇහෙන්නෙ දෙමළ වචන. හැමතැනම පේන්නෙ දෙමළ අකුරු. සරල උදාහරණයක් ගත්තොත්, එහෙම පේන්නෙ නෑ කියල කියන අය සම්බන්ධන් විපක්‍ෂ නායක වෙනවට කැමති වුණා ද? නෑ. මොකද්ද හේතුව? දෙමළෙක් විපක්‍ෂ නායක කරල කොහොමද කියලයි ඔවුන් අහන්නෙ. ඇත්තටම සම්බන්ධන් උතුරු, නැගෙනහිරට විතරක් සීමා වුණ ප‍්‍රදේශීය නියෝජනයක් කියල නෙවෙයි, දෙමළ නියෝජනයක් කියලයි උන් දකින්නෙ. සම්බන්ධන්ට කොළඹිනුත් ආසන ඇවිත් වැරදිලා හරි දකුණෙනුත් ආසනයක් දෙකක් ආව නම් අපි වෙනස් වෙනවද? නෑ, ඒත් අපිට සම්බන්ධන් විපක්‍ෂ නායක වෙනවා කියන එක ප‍්‍රශ්නයක්. මේ නිර්මාණය අතුළෙ මම දුෂ්ඨ ගාමිණි විධියට හඳුන්වපු ගාමිණි හිතන්නෙත් ඒ විධියට. "කවුද දන්නෙ එහෙන් පැන ගත්ත කොටි කෙල්ලක්ද" කියලයි ගාමිණි අහන්නෙත්. මේ තමයි සිංහලයා දෙමළා දිහා බලන වැරදි දෘෂ්ටි කෝණය.

මේ චිත‍්‍රපටය පුරාම රටේ ජාතික ආරක්‍ෂක අංශය හඳුන්වන්නෙ ‘සිංහල හමුදාව’ කියල. ඒ සෙල්වි හමුදාව දිහා බලන දෘෂ්ටිය. යුද්ධයෙන් පීඩා විඳපු බහුතරයක් දෙමළ ජනතාව හමුදාව දිහා බලන්නෙ ‘සිංහල’ කියන විශේෂණයත් එක්ක. ‘සෙල්වම්’ වගේ චිත‍්‍රපටයක පුනරුත්ථාපනය කරපු දෙමළ තරුණයෙක් රඟපෑව කියල මේ දෘෂ්ටිය වෙනස් කරන්න බෑ. ‘සෙල්වම්’ ගැන කතා නොකරන තරමට හොඳයි කියලයි මට හිතෙන්නෙ "ඔබ නැතුව ඔබ එක්ක" ගැන කතා කරන මේ වෙලාවෙ. හේතුව ඒක වෙනමම පුද්ගල ප‍්‍රචාරකවාදී චිත‍්‍රපටයක් වීම.

සිංහල හමුදාව කියල හඳුන්වන පිරිස අතරින් දෙමළ ජනතාවට කිසිම වරදක් වුණේ නෑ, සිංහල හමුදාව පාරිශුද්ධයි කියල කියන්න කාටවත් බෑ. හමුදාවෙ අය අතින් සෙල්වි කියන ආකාරයේ වැරදි සිද්ධ වුණා. ඒක  ඕනම යුද්ධයක  ඕනම හමුදාවක් අතින් වෙන්න පුළුවන් දෙයක්. සමහර විට මේ රටේ බහුතරය දෙමළ වෙලා සුළුතරය සිංහල වෙලා මේ යුද්ධයේ පිල් මාරු වුණා නම් ඒත් මේ දේම ඒ ආකාරයෙන්ම වෙනවා. වැදගත් වෙන්නෙ වැරදිකරුවන් සරත්සිරි කරා වගේ ආරක්‍ෂා කරන එක නෙවෙයි, දේශයේ මුරදේවතාවන් වුණත් වරදක් කරා නම් දඬුවම් කරන්න  ඕන. කොටින්ම අපිට අපි ගැන ස්වයං විවේචනයක් තියෙන්න  ඕන. අපි පාරිශුද්ධ නැති බව අපි පිළිගන්න  ඕන. ඒ පිළිගැනීම නැති නිසා තමයි මේ චිත‍්‍රපටය මුලින්ම වාරණයට ලක්වෙන්නෙත්.

සෙල්වි බය වෙන්නෙ සිංහලයට නෙවෙයි. සරත්සිරි සිංහලයෙක් බව දැන දැනමයි සෙල්වි සරත්සිරි එක්ක විවාහ වෙන්නෙ. සෙල්වි බය වෙන්නෙ සරත්සිරි හිටපු හමුදා සොල්දාදුවෙක් බව දැන ගත්තමයි. සෙල්විගෙ ආවේග පිටවෙන්න පටන් ගන්නෙ එතනින්. සෙල්වි සරත්සිරිගෙන් අහනව දෙමළ කෙල්ලො කීයක් දූෂණය කරාද කියල. සරත්සිරි දෙමළ කෙල්ලො දූෂණය නොකරට ඔහු ඒ වරද කරපු අයව නිර්දෝෂී කරල තියෙනවා. ඒ ප‍්‍රශ්නෙත් එක්ක චිත‍්‍රපටය බලන අවස්ථාවෙම මට මතක් වුණේ මංජුල වෙඩිවර්ධනගෙ ‘මාතෘකාවක් නැති මාතෘභූමිය’ කවි පොතේ එන ‘මම ලිඟුමාල නම් වෙමි’ කියන කවිය. ආරක්‍ෂක අංශ දහදෙනෙක් අම්පාරේ කෝනේෂ්වරී කියන දෙමළ කාන්තාව දූෂණය කරල ඇගේ ලිංගේන්ද්‍රිය ඇතුළට අත්බෝම්බයක් දාල පුපුරවල මරනවා. අපි අභිමානවත් කියල සාහිත්‍යය දාල කිව්වට අතීතය ඇතුළෙ එහෙම දේවල් පවා වෙලා තියෙනවා.

සරත්සිරි සහ සෙල්වි පොතේ අත්සන් කරල කසාද බැඳල ඉස්සෙල්ලම ගෙදරට ඇවිල්ල කරන්නෙ රූපවාහිනිය ක‍්‍රියාත්මක කරන එක. ඒ වෙලාවෙ රූපවාහිනියෙ යන්නෙ නිදහස් සැමරුමක්. හමුදාව උත්කර්ෂයට නංවන රූපරාමු පෙළක්. එතකොට මේ දෙන්න විවාහ වෙලා තියෙන්නෙ පෙබරවාරි 04 දවසක, නැත්නම් මැයි 19 දවසක. කසාද බැඳල ගෙදරට ආව ගමන් මිනිහෙකුට රූපවාහිනියක් ක‍්‍රියාත්මක කරනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද? තියෙනවා,  ඕන තරම්. ඒත් අධ්‍යක්‍ෂවරයා මේ කෘතීම අවස්ථාව මවනවා. ඒ සිද්ධිය අතාත්වික වුණත් ඒ අවස්ථාවෙන් ප‍්‍රකාශ වෙන දේ වචන වලට පෙරළල ප‍්‍රකාශ කරන්න බැරි තරම් සංකීර්ණයි. ‘උඹ දැන් ආවෙ සිංහල ගෙදරකට’ කියන කාරණාව සෙල්විට මතක් කරල දෙනවා වගෙයි.

එතකොට මේ සරත්සිරි කියන හිටපු හමුදා සොල්දාදුවා ඒ හමුදා මානසිකත්වෙන් සම්පූර්ණෙන්ම මිදිලද කියල ප‍්‍රශ්නයක් මතු වෙනවා. දෙමළ කෙල්ලෙක් සහේට ගත්තා, දැන් ඔහුගෙ ආත්මය සුවපත් වෙලා කියල අපි හිතනවා. නෑ, ඒක වැරදියි. සරත්සිරි රූපවාහිනියෙන් නරඹන්නෙම මල්ලව පොර. සරත්සිරි පිස්තෝලයක් හංගල තියෙනවා. ඒ සරත්සිරි හංගපු අතීතෙ. හංගන් ඉන්න සිංහල මානසිකත්වෙ. මේ පිස්තෝලෙම චිත‍්‍රපටයෙ සෙල්වි හංගන් ඉන්න දෙමළ මානසිකත්වෙ නිරූපණය කරන්නත් පාවිච්චි වෙනවා. සෙල්වි නිදාගෙන ඉන්න සරත්සිරිට පිස්තෝලෙ දික් කරනවා. මේ එළියට එන්නෙ දෙමළ ජනතාවගෙ හිත ඇතුළෙ තියෙන මානසිකත්වය. ඒ ප‍්‍රචණ්ඩ මානසිකත්වෙ, පළිගැනීමේ චේතනාව සමනය කරන්න අපි අදටත් අසමත් වෙලා තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව අපි යුද්ධය අවසන් කරේ නැතුව ජයග‍්‍රහණය කරපු එක. මේක අවසන් කරපු යුද්ධයක් නෙවෙයි. ජයග‍්‍රාහකයො සහ පරාජිතයො කියල කොටස් දෙකක් නිර්මාණය කරපු යුද්ධයක්. මට මේ චිත‍්‍රපටය පෞද්ගලිකව සුවිශේෂී චිත‍්‍රපටයක් වෙන්නෙ මේ කිව්ව අවසන් කාරණාවත් එක්ක. දෙමළ, සිංහල මානසිකත්වය ගැන නිර්මාණය කරන කතිකාවත් එක්ක. මේ දෙන්න එකිනෙකා හඳුනා ගත්තට පස්සෙ එකිනෙකාට ආදරේ කරන්න බය වෙන්නෙත් මේ දෙමළ සිංහල මානසිකත්වය නිසා.

මේ සිනමා නිර්මාණයෙ කතා කරනවා වගේ ඇත්තටම දෙමළ ජනතාවට ප‍්‍රශ්නයක් තියෙනවද? නලින් ද සිල්ව කියනවා නෑ කියල. නිර්මාල් රංජිත් කියනවා තියෙනවා කියල. ඇත්තටම දෙමළට ප‍්‍රශ්නයක් තියෙනවද? ඔව්, ඇත්තටම දෙමළට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක දෙමළා දෙමළ වීම නිසා ඇති වුණ ප‍්‍රශ්නයක්. එතකොට සිංහලයට ප‍්‍රශ්නයක් නැද්ද? තියෙනවා. සිංහලයටත් ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක සිංහලයා සිංහල වීම නිසා ඇති වුණ ප‍්‍රශ්නයක්. මේ දෙමළ, සිංහල මානසිකත්වයන් සුවපත් කරන්න කල් ගත වෙනවා. ඒක ඇත්ත. ඒත් මේ යුද්ධය ප‍්‍රචාරක උපකරණයක් ලෙස භාවිත කරන තුරු අපි දිගින් දිගටම අසමත් වෙනවා.

ප‍්‍රසන්න මේ සිනමා නිර්මාණෙ ඇතුළෙ අපිව සමතුන් කරන්න උත්සහ කරනවා වගේ අපට එක අවස්ථාවක දැනෙනවා. සෙල්වි සහ සරත්සිරි එකිනෙකා හඳුනා ගන්නවා. එතකොට අපිට ප‍්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා. ඒත් විනාඩි කිහිපයක් ඇතුළත සෙල්වි දිවි නසා ගන්නවා. අපේ උත්තරෙත් කැඩිල බිඳිල සුන්නද්දූලි වෙලා යනවා. පැලැස්තර විසඳුම් හොයනකන් අපි ඇත්තටම අසමත් කියල ප‍්‍රසන්න අපිට අන්තිමේදි කියනවා.

මම මේ චිත‍්‍රපටය බලල පැයක් වගේ ඇතුළත මගේ මිත‍්‍ර ආචාර්ය වරයෙක් අහම්බෙන් මුණගැහෙනවා. අපි දෙන්න මේ චිත‍්‍රපටය ගැන කතා කරා. ඒ සංවාදෙ ඇතුළෙන් අපි දෙන්න අවසාන අදහසකට ආවා. ප‍්‍රසන්න ප‍්‍රශ්නෙ අඳුර ගන්නවා. ප‍්‍රසන්න ප‍්‍රශ්නෙ කියනවා. ඒත් අන්තිමට ප‍්‍රසන්නත් අපිට උත්තරයක් දෙන්නෙ නෑ කියල. ඔව්. ප‍්‍රසන්නත් අපිට උත්තරයක් දෙන්නෙ නෑ. උත්තරයක් දුන්න නම් ප‍්‍රසන්න සිනමා නිර්මාණකරුවෙක් විධියට අසාර්ථක වෙන්නත් තිබුණා.

ජයග‍්‍රහණය කරපු යුද්ධයක් ඉවර කරන්න බැරුව අපි තවමත් අවුරුදු කිහිපයක් පුරා උත්තරයක් හොයනවා. අපි පුද්ගලයො විධියට වෙන් වෙන් වශයෙන් ගත්තොත් ඒකට උත්තර දෙන්න අපි කවුරුත් අසමත්. එහෙම අසමත් වුණ තවත් එකෙක් විධියට මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්න කවි පදයක් තෝරගත්තා. කවියක් සහ සිනමා නිර්මාණයක් එකට අරගන්න එක වරදක්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම ඒ වරද කරනවා. මාක්ස්වාදියෙක් සහ කවියෙක් වුණ එල්.ටී.ටී.ඊයේ සංස්කෘතික අංශ ප‍්‍රධානියා, පුදුවෛ රත්නතුෙරෙ ලියන පද කිහිපයක් මෙන්න මේ විධියට සිංහලයට පෙරළෙනවා.

”ශ‍්‍රී පාද කඳු මුදුනින් පමණි මා
හිරු උදාව
දකින්නට ප‍්‍රිය කරන්නේ......
එම අයිතිය
මට අහිමි නො කරන්න......”

ඒ අයිතිය සිංහල, දෙමළ කාටත් ලැබුණ දවසක ප‍්‍රසන්නත් උත්තර නොදුන්න, කිසිම කෙනෙක් මේ වෙනකන් දෙන්න උත්තරයක් නොදන්න ඒ ප‍්‍රශ්නෙට උත්තරේ ලැබේවි.

 

- ප්‍රමුදිත ලුණුවිලගේ -

 

 

Saturday, November 1, 2014

"එතකං පාං කෑල්ලක් කමු" නාට්‍යයට පසුකියවීමක්......

කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදොර අභියස කලා මංගල්‍යයට සමගාමීව පැවති වලසතියේ පේ‍්‍රක්‍ෂකයෙකු වීමි. පසුගිය 17වන දා සැන්දෑවේ හිරිපොද වැස්ස යටින් පියමං කොට කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවට හෙවත් ලෙනින් ශාලාවට ඇතුල් වී අසුන් ගත්තේ ප‍්‍රබෝධ බුද්ධිප‍්‍රියගේ "එතකං පාං කෑල්ලක් කමු" වේදිකා නාට්‍යය වෙනුවෙනි. ශාලාව අඳුරු වෙමින් පවතිද්දී පේ‍්‍රක්‍ෂකයන් අතට පාං කැබැල්ල බැගින් හිමි විය. නිවේදකයා පේ‍්‍රක්‍ෂකයා ආමන්ත‍්‍රණය කළේ ය. ශාලාව හඳුන්කූරු සුවඳින්ද පිරී ගියේ ය. මොහොතකින් නාට්‍යයේ අධ්‍යක්‍ෂකවරයා පේ‍්‍රක්‍ෂකයන් ආමන්ත‍්‍රණය කරන්නට විය. "නාට්‍යයේ ජවනිකා දෙකයි. සිදුවීම් දෙකයි......" අධ්‍යක්‍ෂකවරයා දිගින් දිගටම කතා කරන්නට විය. "මේ මොන කුණුහරුපයක්ද? ඩ‍්‍රාම එකට කලින් ඩිරෙක්ටර් වැල්බයිල ගහනවා." මගේ සිතු සාප කරන්නට විය. නමුත් එය වැල්බයිලයක් නොවී ය. තත්ත්පර කිහිපයකින් අධ්‍යක්‍ෂකවරයා "ඔවුන් දැන් ඒවි. ඔව්. ඔවුන් ළඟ ළඟම එනවා"යැයි කියමින් වසා තිබූ තිරය තුළ සැඟවෙන්නට තැන් සෙව්වේ ය. නාට්‍යය ඇරඹුණේ එතැනිනි. නැත. ඒ නාට්‍යයේ දෙවන ඇරඹුම යි. පළමු ඇරඹුම පේ‍්‍රක්‍ෂකයා අත පත් වූ පාං කැබැල්ල යි.

               නාට්‍යය ගලා ගියේ ය. විටෙක ගංවතුරක් මෙන් සංයමයෙන්ද විටෙක සුනාමියක් මෙන් ආවේගයෙන්ද නාටකය ගලා ගියේ ය. මානව සමාජය තුළ සැඟවුණු කිලිකුණු දෝවනය කරමින් නාටකය ගලා ගියේ ය. අධ්‍යක්‍ෂකවරයා කී ලෙසටම නාටකය ජවනිකා ද්විත්වයකට සීමා විය. හෝරාවක් තුළ නාටකය හමාර විය.

               ආගම නාමයෙන් කට්ටි ගැහුණ සමාජය කුට්ටිය පිටින් ගෙන පහර දෙන්නට තරම් රූපමය කියවීමකට සහෘදයා සමීප කරන්නට නිර්මාණකරු සමර්ථ විය. ආගමට ඇබ්බැහි වූ මිනිසාත් දේව සංකල්පය තුළ නන්නත්තාර වූ මිනිසාත් කවරාකාරයෙන් ගත්තත් එකම වෘක්‍ෂයේ විවිධාකාර ක‍්‍රමවේදයන් ඔස්සේ දිරාපත් වෙමින් පවතින අතුශාඛා පමණකි. ආගම සහ මැවුම්වාදය පදනම් කරගෙන ආගම කෙරෙහි විෂද කරන පුළුල් දැක්ම අතිශයින් කාලෝචිත ය. දෙවියන්ගේ නාමයෙන් "සර්වබලධාරී" යන වාසගම ඍජුවම බැහැර කෙරෙයි. නාට්‍යය තුළ සඟවා තිබූ දාර්ශනික පෙළඹවීම එළිපිට ප‍්‍රදර්ශනය කරන්නක් නොවේ. නමුත් හෝරාවක රූපමය කියවීමෙන් අනතුරුව කෙරුනු සංවාදාත්මක වාචික කියවීම තුළ නිර්මාණකරු තමන් භෞතිකවාදියෙකු බව ප‍්‍රකාශ කළේ පේ‍්‍රක්‍ෂකයන් මතුව ආ ප‍්‍රකාශයකට ප‍්‍රතිඋත්තර දෙමිනි.

               දෙවන ජවනිකාව ආරම්භක සටහන් තැබෙන්නේද ආගම හරහා ය. නමුත් ඒ තුළ ආර්ථික සාධකය මුල් කර ගත් සමාජ ක‍්‍රමයේ ගන්ධබ්බ ස්වරූපය නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරයි. පරණ බඩු විකුණන්නෙකු හරහා ලූම්පන් මිනිසා වැටී සිටින අන්ත දුගී අඩියේ බොරු වළවල් විවෘත කරන්නට අධ්‍යක්‍ෂකවරයා උත්සුක වෙයි. මූල්‍යවාදී ක‍්‍රමවේදය තුළ මානව බන්ධුත්වයේ බිඳීයාම සහ සියල්ල විකුණන හා විකිණෙන ආකාරයද මූර්තිමත් කරයි.

               ජවනිකා ද්විත්වය වෙන් වෙන් වශයෙන් කරන කියවීම සීමිත ප‍්‍රපංචයක ගොනු වුවත් සමස්ත නාට්‍යය අතිශයින් පුළුල් ය. ඒ තුළ සමස්ත සමාජයේම අඳුරු අහුමුලු විවර කරයි. ජීවවිද්‍යාඥයෙකු සත්ත්ව ශරීරය කපා කොටා පරීක්‍ෂණ කරන්නේ යම් සේද බුද්ධිප‍්‍රිය සිය නාටකය හරහා සමස්ත සමාජයම කපා කොටා ප‍්‍රදර්ශනය කරයි. අමරිකානු, ලතින් අමරිකානු, බටහිර, මැදපෙරදිග ඇතුළු සමස්ත ආසියාකරය ආදී මුළු ලෝකයම තුළ ඇති භේදනය කවරාකාර වුවත් මිනිසා මුහුණපා සිටින්නේ සමාන අර්බුධයකට බවත් ඒ අර්බුධය කවරාකාර වූවක්ද යන්නත් සහෘදයාට සිතන්නට ශේෂ කරයි. සමස්ත නාටකය පුරාම යුද්ධයේ අඳුරු සෙවණැලි යට හුදී ජනයා විඳින පීඩනය ගම්‍යමාන කරයි. දේශපාලන ක‍්‍රමය තුළ යන එන මං නොදැන මහජනතාව අසරණ වන ආකාරය සහ යළි යළිත් රැවටෙන ආකාරය ඉදිරිපත් කරන්නේ සංඥාර්ථයෙනි.

               පළමු ජවනිකාවේදී මිනිසා ආහාර නොමැති වීමෙන් මුහුණපාන ගැටුම් සමුදාය වස්තු විෂයය කරගන්නා නිර්මාණකරු මිනිසා ආහාර වෙනුවෙන් ගැටෙන උද්වේගකර ස්වරූපය දෙවන ජවනාකාවේ වස්තු විෂයය කරගනියි. නාටකයේ සමස්ත සංදර්භය තුළ ප‍්‍රකෘති මිනිසාට මෙන්ම සභ්‍යත්වයට පමුණුවන ලද මිනිසාට මතු නොව තිරිසන් සත්ත්වයාටද පොදු වූ කුසගින්නේ අසීමාන්තික පරිමාණය ගණනය කරන්නට අවකාශ සලසයි. පේ‍්‍රක්‍ෂකයන්ට බෙදාදුන් පාංවලට අමතරව නාටකය පුරාම පාං රාත්තලක් මගින් පීඩිතයාගේ කුසගින්න ගැන විටෙක ආවේගශීලීවද විටෙක අනුකම්පා සහගතවද  සිතුම්වැල් මෙහෙයවන්නට කටයුතු කරයි. මරණය අභියස අවසාන භෝජනය ගන්නා අතරතුර "එතකං පාං කෑල්ලක් කමු"යැයි පවසන රංගන ශිල්පීහු දෙපළ තමා කමින් සිටි පාං කෑල්ලෙන් පේ‍්‍රක්‍ෂකයාට දමා ගසන්නට තරම් පරිත්‍යාගශීලී වෙයි. එය කලාත්මක සාගින්නෙන් පෙළෙන ඒකාකාරී සමාජයක යකඩකූරු කඩාගෙන ගොස් කලාව නාමයෙන් සාගිනි නිවන්නට පාං පිළිගැන්වීමක් ලෙස මම හඳුනාගනිමි. එය සමස්ත නාටකය තුළින් කලාවේ කාර්යභාරය සංස්පර්ශය කළ උද්වේගකර මොහොත යි.

               මී පැණි පමණක් වස්තු විෂයය කරගෙන ප‍්‍රහසන රැල්ලක මංමුලා වූ සිංහල නව නාට්‍ය කලාවට දාර්ශනික ඔසුපැන් පොවන ප‍්‍රබෝධ බුද්ධිප‍්‍රිය සහය අධ්‍යක්‍ෂකවරයෙකුගෙන් තොරව අධ්‍යක්‍ෂණ කාර්යය මෙන්ම රංගන කාර්යයද සිදුකිරීම සුවිශේෂී ය. වේදිකා නාට්‍ය නිම්වළලු පුළුල් කරමින් සම්මතය අභිබවා ගිය අතිශය මානවවාදී කලානිර්මාණයක් ලෙස මා මෙය නාමකරණය කරන්නේ වඩාත් සංක්‍ෂිප්ත ආකාරයෙන් සම්ප‍්‍රදායිකත්වය අතික‍්‍රමණය කරන ලද නිසාවෙනි. මේ අපූර්ව නාට්‍ය සංදර්භය දේශීය නාට්‍ය කලාවට නව පිටුවක් විවර කරන බව නම් සැබවි. ප‍්‍රකාශිත සමාජ යතාර්ථය හඳුනාගත් පසුවත් පාං කමින් මුණිවත රැකිය යුතුද යන විවෘත ගැටලූවක් යළිත් වරක් සහෘදයාට විවර කරන්නට නිර්මාණකරු යොමු වූ බව මගේ අදහස යි.

               - ප්‍රමුදිත ලුණුවිලගේ -