කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදොර අභියස කලා මංගල්‍යයට සමගාමීව පැවති වලසතියේ පේ්රක්ෂකයෙකු වීමි. පසුගිය 17වන දා සැන්දෑවේ හිරිපොද වැස්ස යටින් පියමං කොට කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවට හෙවත් ලෙනින් ශාලාවට ඇතුල් වී අසුන් ගත්තේ ප්‍රබෝධ බුද්ධිප්රියගේ "එතකං පාං කෑල්ලක් කමු" වේදිකා නාට්‍යය වෙනුවෙනි. ශාලාව අඳුරු වෙමින් පවතිද්දී පේ්රක්ෂකයන් අතට පාං කැබැල්ල බැගින් හිමි විය. නිවේදකයා පේ්රක්ෂකයා ආමන්ත්‍රණය කළේ ය. ශාලාව හඳුන්කූරු සුවඳින්ද පිරී ගියේ ය. මොහොතකින් නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා පේ්රක්ෂකයන් ආමන්ත්‍රණය කරන්නට විය. "නාට්‍යයේ ජවනිකා දෙකයි. සිදුවීම් දෙකයි......" අධ්‍යක්ෂකවරයා දිගින් දිගටම කතා කරන්නට විය. "මේ මොන කුණුහරුපයක්ද? ඩ්‍රාම එකට කලින් ඩිරෙක්ටර් වැල්බයිල ගහනවා." මගේ සිතු සාප කරන්නට විය. නමුත් එය වැල්බයිලයක් නොවී ය. තත්ත්පර කිහිපයකින් අධ්‍යක්ෂකවරයා "ඔවුන් දැන් ඒවි. ඔව්. ඔවුන් ළඟ ළඟම එනවා"යැයි කියමින් වසා තිබූ තිරය තුළ සැඟවෙන්නට තැන් සෙව්වේ ය. නාට්‍යය ඇරඹුණේ එතැනිනි. නැත. ඒ නාට්‍යයේ දෙවන ඇරඹුම යි. පළමු ඇරඹුම පේ්රක්ෂකයා අත පත් වූ පාං කැබැල්ල යි.
නාට්‍යය ගලා ගියේ ය. විටෙක ගංවතුරක් මෙන් සංයමයෙන්ද විටෙක සුනාමියක් මෙන් ආවේගයෙන්ද නාටකය ගලා ගියේ ය. මානව සමාජය තුළ සැඟවුණු කිලිකුණු දෝවනය කරමින් නාටකය ගලා ගියේ ය. අධ්‍යක්ෂකවරයා කී ලෙසටම නාටකය ජවනිකා ද්විත්වයකට සීමා විය. හෝරාවක් තුළ නාටකය හමාර විය.
ආගම නාමයෙන් කට්ටි ගැහුණ සමාජය කුට්ටිය පිටින් ගෙන පහර දෙන්නට තරම් රූපමය කියවීමකට සහෘදයා සමීප කරන්නට නිර්මාණකරු සමර්ථ විය. ආගමට ඇබ්බැහි වූ මිනිසාත් දේව සංකල්පය තුළ නන්නත්තාර වූ මිනිසාත් කවරාකාරයෙන් ගත්තත් එකම වෘක්ෂයේ විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ දිරාපත් වෙමින් පවතින අතුශාඛා පමණකි. ආගම සහ මැවුම්වාදය පදනම් කරගෙන ආගම කෙරෙහි විෂද කරන පුළුල් දැක්ම අතිශයින් කාලෝචිත ය. දෙවියන්ගේ නාමයෙන් "සර්වබලධාරී" යන වාසගම ඍජුවම බැහැර කෙරෙයි. නාට්‍යය තුළ සඟවා තිබූ දාර්ශනික පෙළඹවීම එළිපිට ප්‍රදර්ශනය කරන්නක් නොවේ. නමුත් හෝරාවක රූපමය කියවීමෙන් අනතුරුව කෙරුනු සංවාදාත්මක වාචික කියවීම තුළ නිර්මාණකරු තමන් භෞතිකවාදියෙකු බව ප්‍රකාශ කළේ පේ්රක්ෂකයන් මතුව ආ ප්‍රකාශයකට ප්‍රතිඋත්තර දෙමිනි.
දෙවන ජවනිකාව ආරම්භක සටහන් තැබෙන්නේද ආගම හරහා ය. නමුත් ඒ තුළ ආර්ථික සාධකය මුල් කර ගත් සමාජ ක්රමයේ ගන්ධබ්බ ස්වරූපය නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරයි. පරණ බඩු විකුණන්නෙකු හරහා ලූම්පන් මිනිසා වැටී සිටින අන්ත දුගී අඩියේ බොරු වළවල් විවෘත කරන්නට අධ්‍යක්ෂකවරයා උත්සුක වෙයි. මූල්‍යවාදී ක්‍රමවේදය තුළ මානව බන්ධුත්වයේ බිඳීයාම සහ සියල්ල විකුණන හා විකිණෙන ආකාරයද මූර්තිමත් කරයි.
ජවනිකා ද්විත්වය වෙන් වෙන් වශයෙන් කරන කියවීම සීමිත ප්රපංචයක ගොනු වුවත් සමස්ත නාට්‍යය අතිශයින් පුළුල් ය. ඒ තුළ සමස්ත සමාජයේම අඳුරු අහුමුලු විවර කරයි. ජීවවිද්‍යාඥයෙකු සත්ත්ව ශරීරය කපා කොටා පරීක්ෂණ කරන්නේ යම් සේද බුද්ධිප්රිය සිය නාටකය හරහා සමස්ත සමාජයම කපා කොටා ප්‍රදර්ශනය කරයි. අමරිකානු, ලතින් අමරිකානු, බටහිර, මැදපෙරදිග ඇතුළු සමස්ත ආසියාකරය ආදී මුළු ලෝකයම තුළ ඇති භේදනය කවරාකාර වුවත් මිනිසා මුහුණපා සිටින්නේ සමාන අර්බුධයකට බවත් ඒ අර්බුධය කවරාකාර වූවක්ද යන්නත් සහෘදයාට සිතන්නට ශේෂ කරයි. සමස්ත නාටකය පුරාම යුද්ධයේ අඳුරු සෙවණැලි යට හුදී ජනයා විඳින පීඩනය ගම්‍යමාන කරයි. දේශපාලන ක්‍රමය තුළ යන එන මං නොදැන මහජනතාව අසරණ වන ආකාරය සහ යළි යළිත් රැවටෙන ආකාරය ඉදිරිපත් කරන්නේ සංඥාර්ථයෙනි.
පළමු ජවනිකාවේදී මිනිසා ආහාර නොමැති වීමෙන් මුහුණපාන ගැටුම් සමුදාය වස්තු විෂයය කරගන්නා නිර්මාණකරු මිනිසා ආහාර වෙනුවෙන් ගැටෙන උද්වේගකර ස්වරූපය දෙවන ජවනාකාවේ වස්තු විෂයය කරගනියි. නාටකයේ සමස්ත සංදර්භය තුළ ප්‍රකෘති මිනිසාට මෙන්ම සභ්‍යත්වයට පමුණුවන ලද මිනිසාට මතු නොව තිරිසන් සත්ත්වයාටද පොදු වූ කුසගින්නේ අසීමාන්තික පරිමාණය ගණනය කරන්නට අවකාශ සලසයි. පේ්රක්ෂකයන්ට බෙදාදුන් පාංවලට අමතරව නාටකය පුරාම පාං රාත්තලක් මගින් පීඩිතයාගේ කුසගින්න ගැන විටෙක ආවේගශීලීවද විටෙක අනුකම්පා සහගතවද සිතුම්වැල් මෙහෙයවන්නට කටයුතු කරයි. මරණය අභියස අවසාන භෝජනය ගන්නා අතරතුර "එතකං පාං කෑල්ලක් කමු"යැයි පවසන රංගන ශිල්පීහු දෙපළ තමා කමින් සිටි පාං කෑල්ලෙන් පේ්රක්ෂකයාට දමා ගසන්නට තරම් පරිත්‍යාගශීලී වෙයි. එය කලාත්මක සාගින්නෙන් පෙළෙන ඒකාකාරී සමාජයක යකඩකූරු කඩාගෙන ගොස් කලාව නාමයෙන් සාගිනි නිවන්නට පාං පිළිගැන්වීමක් ලෙස මම හඳුනාගනිමි. එය සමස්ත නාටකය තුළින් කලාවේ කාර්යභාරය සංස්පර්ශය කළ උද්වේගකර මොහොත යි.
මී පැණි පමණක් වස්තු විෂයය කරගෙන ප්‍රහසන රැල්ලක මංමුලා වූ සිංහල නව නාට්‍ය කලාවට දාර්ශනික ඔසුපැන් පොවන ප්‍රබෝධ බුද්ධිප්රිය සහය අධ්‍යක්ෂකවරයෙකුගෙන් තොරව අධ්යක්ෂණ කාර්යය මෙන්ම රංගන කාර්යයද සිදුකිරීම සුවිශේෂී ය. වේදිකා නාට්‍ය නිම්වළලු පුළුල් කරමින් සම්මතය අභිබවා ගිය අතිශය මානවවාදී කලානිර්මාණයක් ලෙස මා මෙය නාමකරණය කරන්නේ වඩාත් සංක්ෂිප්ත ආකාරයෙන් සම්ප්රදායිකත්වය අතික්‍රමණය කරන ලද නිසාවෙනි. මේ අපූර්ව නාට්‍ය සංදර්භය දේශීය නාට්‍ය කලාවට නව පිටුවක් විවර කරන බව නම් සැබවි. ප්‍රකාශිත සමාජ යතාර්ථය හඳුනාගත් පසුවත් පාං කමින් මුණිවත රැකිය යුතුද යන විවෘත ගැටලූවක් යළිත් වරක් සහෘදයාට විවර කරන්නට නිර්මාණකරු යොමු වූ බව මගේ අදහස යි.
- ප්‍රමුදිත ලුණුවිලගේ -